
සිනමා නිර්මාණ නිෂ්පාදකවරුන්ගේ අවසරයකින් තොරව අනවසරයෙන් අන්තර්ජාලයට හා සමාජ මාධ්‍ය වෙත මුදාහරින පුද්ගලයන්ට පනවන දඩය රුපියල් ලක්ෂ පහ දක්වා වැඩි කිරීමට සහ සිරදඬුවම් පැමිණවීමට අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
දැනට පවතින නීතිය යටතේ මෙවැනි වරදකට පනවනු ලබන රුපියල් 5,000ක දඩය ප්‍රමාණවත් නොවන බැවින්, එය අවම වශයෙන් ලක්ෂ පහක් දක්වා වැඩි කිරීමටත්, වසර දෙකක අත්හිටුවූ සිරදඬුවමක් හෝ මාසයක සිරදඬුවමක් ලබාදීමට හැකි වන පරිදි නීති සකස් කිරීමටත් මෙහිදී යෝජනා වී ඇත.
චිත්‍රපට ක්ෂේත්‍රය මුහුණදී ඇති මෙම බරපතළ ගැටලුව සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතාගේ සහ එහි සාමාන්‍යාධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් එම සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම හමුව සඳහා චිත්‍රපට නිෂ්පාදකවරු හා අධ්යක්ෂවරු 25කට අධික පිරිසක් සහභාගි වී සිටියහ.
මෙහිදී අනාවරණය වූයේ, වර්තමානය වන විට සිනමා නිර්මාණ කිසිදු හිරිකිතයකින් තොරව සහ නිෂ්පාදකවරයාගේ අනුදැනුමකින් තොරව විවිධ වෙබ් අඩවි, OTT ප්ලැට්ෆෝම් සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලාවලට එක් කිරීමේ ප්‍රවණතාවක් පවතින බවයි. මෙවැනි ජාවාරම් මඟින් ඇතැම් පුද්ගලයන් රුපියල් දහස් ගණනින් මුදල් උපයන නමුත්, ඔවුන්ට එරෙහිව පවතින දඩ මුදල ඉතා සුළු අගයක් ගැනීම හේතුවෙන් වැරදිකරුවන් නීතිය මඟහැරීමට හෝ එය නොසලකා හැරීමට පෙලඹී සිටින බව පෙන්වා දෙන ලදි.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සමඟ එක්ව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙහිදී තීරණය විය. ඒ අනුව, අදාළ නීතිමය සංශෝධන සම්බන්ධයෙන් ලබන සතියේදී අධිකරණ අමාත්‍යවරයා, ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සහ සංස්කෘතික අමාත්‍යවරයා සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. මෙම නව නීති පද්ධතිය හරහා චිත්‍රපට කොල්ලය (Piracy) වැළැක්වීමටත්, ක්ෂේත්‍රයේ ප්රගමනයටත් දැඩි බලපෑමක් ඇති කරනු ඇතැයි බලාපොරොත්තු වේ.
ඉරෝෂා දීපානි
උපුටා ගැනීම – දිනමිණ


