Sunday, May 24, 2026
Homeදේශීයමත්තල ගුවන්තොටුපළ සංවර්ධනයට ජාත්‍යන්තර ආයෝජක අවධානය..

මත්තල ගුවන්තොටුපළ සංවර්ධනයට ජාත්‍යන්තර ආයෝජක අවධානය..

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) ආශ්‍රිත ආයෝජන අවස්ථා සඳහා කැඳවා ඇති Expressions of Interest (EOI) වැඩසටහනට අදාළ පූර්වයෝජනා හමුව (Pre-Proposal Meeting) අද (2026.05.22)දින මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේදී වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවේදී MRIA ගුවන්තොටුපළ ගුවන්සේවා ක්ෂේත්‍රය සඳහා ගැලපෙන අයුරින් සංවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. ආයෝජකයන්ට තම ගැටලු සහ යෝජනා ඉදිරිපත් කිරීමටද මෙහිදී අවස්ථාව ලබාදුන් අතර අදාළ නිලධාරීන් විසින් ඒ සඳහා පැහැදිලි කිරීම් සිදුකරන ලදී.

පසුගිය කාලය තුළ මතුව තිබූ අභියෝග කිහිපයකට විසඳුම් ලබාදෙමින්, ගුවන්තොටුපළ ආශ්‍රිත ප්‍රදේශ විධිමත්ව සංවර්ධනය කිරීම, ආරක්ෂක ක්‍රමවේද ශක්තිමත් කිරීම සහ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා නව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර ආයෝජකයන්ගෙන් සැලකිය යුතු උනන්දුවක් සහ ධනාත්මක ප්‍රතිචාරයක් දක්නට ලැබුණි.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම හේතුවෙන් MRIA කලාපීය ගුවන්සේවා මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ විශාල හැකියාවක් පවතින බවයි. එමෙන්ම නවීන ගුවන්තොටුපළක් යනු මගී ප්‍රවාහනයට පමණක් සීමා නොවී ආයෝජන, රැකියා උත්පාදනය සහ කලාපීය ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බවද නියෝජ්‍ය අමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා Airports and Aviation Services (Sri Lanka) (Private) Limited (AASL) ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නිලධාරීන්, ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා, AASL ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

:රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

READ:   ලොහාන් රත්වත්තේ ඇමති ධුරයේ දිව්රුම් දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්