ක්‍රීඩා

බංගලියන්ට කඩුලු 06කින් පරාද වුණේ පින්න නිසා?

බංග්ලාදේශය ඉදිරියේ පන්දුවාර 50ක්වත් ක්‍රීඩා කිරීමට නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් තුළ දැවී ගියේ පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක වගකීම් විරහිත ලෙස කඩුලු විසිකරමින්. ලකුණු 300ක් පහසුවෙන් ලබා ගැනීමට තිබූ විකට්ටුවේ ලකුණු 255කින් අපට සෑහීමකට පත්වීමට සිදුවුණේ පිතිකරණයේ සහ ඉවසීමේ අඩුපාඩුකම් රැසක් ලොව හමුවේ පෙන්වමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් කිසිදු පැකිලීමකින් තොරව පිත්ත අතට ගනිමින් පැවසුවේ ලකුණු 280කට වැඩි ලකුණු ගණනක් ලබා ගැනීම තම අරමුණ බවයි. හැබැයි කුසල්⁣ට තමන්ගේ අරමුණ ඉටුකර ගැනීමට කණ්ඩායමේ අවසන් 11දෙනා අතර ප්‍රමාණවත් පිතිකරුවන් සිටියේනම් නැත. බංග්ලාදේශ නායකයා කාසියේ වාසියෙන් පසු පැවසුවේ මෙම විකට්ටුවේ හඹායාමට තමන් ප්‍රිය කරන බවයි. ඒ වගේම රාත්‍රී කාලයේ පින්න නිසා එය පිතිකරණයට පහසුවක් බව ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සබඳතාවක් ගොඩනැංවීමට පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු සමත් වුණා. නමුත් ලකුණු 84ක් තුළ කඩුලු 3ක් ශ්‍රී ලංකාව සිය ප්‍රතිවාදීන්ට පූජා කළා. ඉන්පසු චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් එක්ව ලකුණු 40ක සබඳතාවක් ගොඩනංවමින් සිටියදී අසලංක දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම තවත් අනතුරේ දමමින්. අනතුරුව කුසල් මෙන්ඩිස් සමග එක්වූ ජනිත් ලියනගේ ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් ගෙනආවේ ලකුණු 69ක සබඳතාවක් ගොඩනංවමින්. නායකත්වයේ සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් අද සිය 29වැනි අර්ධ ශතකය ලබා ගත්තා. නමුත් ඔහුගේ දැවීයාම ගැනනම් සෑහීමකට පත්විය නොහැකියි. ලකුණු 59ක් ලබාගත් මෙන්ඩිස්ට තවත් ඉවසීමෙන් ක්‍රීඩා කළානම් ශ්‍රී ලංකා ඉනිම මීටවඩා වෙනස් වීමට ඉඩ තිබ්බා. ඉන්පසු පිටියට පිවිසි වනිඳු හසරංග වේගවත් ඉනිමක් ක්‍රීඩා කළත් අනවශ්‍ය පහරක් එල්ල කර කඩුල්ල පූජා කරා.

වනිඳුගේ කඩුල්ලෙන් සිදු වූයේ හරිහමන් අරමුණක් නොමැතිව සිටි බංග්ලාදේශ පන්දු යවන්නන් පොරවල් වී ශ්‍රී ලංකාව පීඩනය කරේ එල්ලා ගැනීමයි. ලකුණු 221කට කඩුලු 6ක් බිඳ වැටුණු විට ශ්‍රී ලංකා ඉනිමේ පිතිකරුවන් යැයි හැඳින්විය හැකි ලැයිස්තුව අවසන් වූවායැයි කිව්වත් වැරුද්දක් නැත. අනතුරුව පිටියට පිවිසි මහීෂ් තීක්ෂණට, ලහිරු කුමාරට, ප්‍රමෝද් මධුෂාන්ට, ඩිල්ෂාන් මධුශංකට පිත්තෙන් කළ හැකි යමක් නොමැත. ඔවුන් කළේ ජනිත් ලියනගේ වටා පුළුවන් විදියට ලකුණු ගැනීම පමණයි. ඔවුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වීමටද නොහැකියි. අවසානයේ 46වැනි පන්දුවාරයේදී වේගයෙන් ලකුණු රැස් කිරීමට සූදානම් වූ ජනිත් ලියනගේ ලකුණු 67කට දැවී ගියා. ඔහුගේ ඉවසීම නොවන්නට ශ්‍රී ලංකා ඉනිමේ මීට වඩා අසරණ වීමට ඉඩ තිබ්බා. ශ්‍රී ලංකා අවසන් කඩුලු 4 බිඳ වැටුණේ ලකුණු 29ක් තුළයි.

කාසියේ වාසිය ජයග්‍රහණයෙන් පසු පන්දුවට පහර දීමට බලාපොරොත්තුවක් ශ්‍රී ලංකාව තුළ තිබුණේනම් අප කළ යුත්තේ පිතිකරුවන්ගේ සේවය වැඩිකර ගැනීම නොවේද? ශ්‍රී ලංකා 6වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු පන්දුවට පහරදීමට නම් දැරූ පිතිකරුවෙක් සිටියේ නැත. කමිදු මෙන්ඩිස් වැනි නම් දරපු පිතිකරුවෙක් එළියට දැමීම ශ්‍රී ලංකා කරගත් දැවැන්ත පාඩුවක්. අවසන් 20යි 20 තරගයේදී කඩුලු ත්‍රිත්වයක්ද ගනිමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ මාවත විවර කරදුන් නුවන් තුෂාර එක්දින සංචිතයේත් රඳවාගෙන අද තරගයට අවස්ථාවක් දී බලන්නට තිබුණා නොවේද?

ඒ වගේම චිතගොන් ක්‍රීඩාංගණයට රාත්‍රී කාලයේදී දැඩි පින්නක් පතිතවන බව පසුගිය දින කිහිපයේ පුහුණුවීම් සිදු කරන විට දැක්කේ නැද්ද? නැත්නම් ඒ දිනවල එතරම් පින්නක් තිබුණේ නැද්ද? නැත්නම් මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය සහ ක්‍රීඩකයින් වැඩි සැලකිල්ලක් දැක්වූයේ නැද්ද? තරගය අතර තුර ජාත්‍යන්තර විස්තර විචාරක රසල් ආර්නල්ඩ් පැවසුවේ ඊයේ රාත්‍රියේ පින්න නොතිබූ බවයි.

නමුත් තරගයේ පරාජය පින්නට පමණක් සීමා කළ නොහැකියි. ලකුණු 300 ලබා ගත්තේ නම් අපට බංග්ලාදේශ පිතිකරුවන්ට පීඩනයක් එල්ල කිරීම⁣ට තිබුණා. නමුත් එයද සිදු වූයේ නැත. අප සිදු කළේ සමස්තයක් වශයෙන් කඩුලු පූජා කිරීම පමණයි. තවදුරටත් උපක්‍රමශීලිව පිතිකරණයේ නියැලුනේනම් අපට තරගය මීට වඩා වෙනස් කර ගැනීමට තිබුණා.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු තුන ලකුණු 23ක් තුළ ද⁣වා ගත්තත් එය ශ්‍රී ලංකාවට ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැත. බංග්ලාදේශ නායක නජිමුල් ශන්තෝ සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ලබාගත් ශතකයනම් පැසසිය යුතුමයි. ඔහුගේ ඉවසීම සහ අධිෂ්ඨානය එම ඉනිම පුරාවටම දැකගන්නට ලැබුණා. 5 වැනි කඩුල්ල වෙනුවෙන් ශන්තෝ සහ මුෂ්ෆිකර් රහීම් එක්ව ගොඩනැගූ නොබිඳුණු ලකුණු 165ක සබඳතාව බංග්ලාදේශය පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ තෙවන හොඳම සබඳතාවයයි. ඒ වගේම ශ්‍රී ලංකාවට එරෙහිව පස්වැනි කඩුල්ලට ගොඩනැංවූ හොඳම සබඳතාවයි. නායක ශන්තෝ එක්දින දිවියේ හොඳම ඉනිම වාර්තා කරමින් නොදැවී ලබාගත් ලකුණු ගණන 122ක්.

පින්නේ බලපෑම දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට බලපෑම් කරන අයුරු දැකගන්නට ලැබුණා. නමුත් පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක ලකුණු 255කින් කළ හැකි කජ්ජක් නැත. බංග්ලාදේශය, බංග්ලාදේශයේදී වඩාත් උපක්‍රමශීලි සහ ශක්තිමත්ය. ඒනිසා අප ඔවුන්ට වඩා උපක්‍රමශීලි වන්නට මීට වඩා කැප කිරීම් කළ යුතුමයි.

: චතුරංග රාජපක්ෂ

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

1 day ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

1 day ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago