Monday, April 20, 2026
Homeදේශීය“ජාතික සයිබර් ආරක්ෂණ පනත” මෙම වසර තුළ දී ගෙන එනවා - රාජ්‍ය...

“ජාතික සයිබර් ආරක්ෂණ පනත” මෙම වසර තුළ දී ගෙන එනවා – රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අනතුරුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට කටයුතු කරන බවත් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.

ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ආර්ථික සමුළුව ජූලි මස අවසානයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා…

“පසුගිය කාලයේ 4.73% ක්ව පැවති ඩිජිටල් ආර්ථිකය අද වන විට 5%කට වඩා ඉහළ තත්ත්වයකට වර්ධනය වී තිබෙනවා. ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ලැබී තිබෙනවා. එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඩිජිටල් ආර්ථික සමුළුව ජූලි මස අවසානයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ හරහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් මෙරටට ගෙන්වීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් විදෙස් තානාපති කාර්යාල, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය එක්ව කටයුතු කරනවා.

ඒ වගේම පසුගිය වසරේ SLSI ආයතනයෙන් ලැබුණු ලාභයෙන් මිලියන 50ක් භාණ්ඩාගාරයට ලබාදී තිබෙනවා.

මෙරට ආර්ථිකයට 52%ක දායකත්වයක් ලබාදෙන කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් නඟා සිටුවීම උදෙසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් තාක්ෂණිකව සවිබල ගැන්වීම එහි අරමුණ වී තිබෙනවා. එහිදී ව්‍යවසායකයින් සඳහා GMP සහතිකය සහ SLSI සහතිකය ලබාදීමට කටයුතු කරනවා. අනතුරුව ඔවුන්ට ආසියානු සංවර්ධන බැංකුව (ADB) හරහා අඩු පොලියට ණය ආධාර ලබාදීමට ද අප බලාපොරොත්තු වනවා. එම කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් වෙළෙඳපළ වෙත යොමු කිරීම අපගේ අරමුණයි.

එමෙන්ම ශ්‍රී ලංකා ස(ර්)ට් ආයතනය (Sri Lanka Cert Institute) මඟින් ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වනවා. ඉන්පසුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට ද ඉතාමත් කඩිනමින් කටයුතු කරනවා.

READ:   වෙළඳසැලක හිමිකරුවෙකු ගෙල කපා ඝාතනය කෙරේ..

ඒ වගේම විදුලි සංදේශ නියාමන කොමිසම, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව අන්තර්ජාල පහසුකම් නොමැති තෝරා ගත් පාසල් 1000කින් 700ක් සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දී තිබෙනවා. එහි දෙවැනි අදියර ලෙස පාසල් මට්ටමින් “කෘත්‍රිම බුද්ධිය” විෂය හඳුන්වාදීම සඳහා AI මධ්‍යස්ථාන පිහිටුවීමට ද බලාපොරොත්තු වනවා.

එමෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව තාක්ෂණ නොවන උපාධිධාරීන් 10,000ක් සඳහා සය මාසික තාක්ෂණ කර්මාන්ත පුහුණුවක් ලබාදීම මැයි මාසයේ දී ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වනවා”

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්