ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙල (MFA) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ආරම්භ කළා.

ආර්ථික හා සමාජීය පුනර්ජීවනයක් වෙනුවෙන් සංස්කෘතික ප්‍රජාවගේ සහයෝගීතාව ඇතිව කලා සංවිධාන පදනම් කර ගත් මෙම කලා උළෙල පෙබරවාරි 04 දක්වා මාතර කොටුවේදී පැවැත්වෙනවා.
ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව වසර ආරම්භයේදී මාතර කලා උළෙල දකුණු වෙරළ තීරයේ පැවැත්වීම ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදෙස් සංචාරකයන්ට ද සුවිශේෂ අත්දැකීමක්.

චිත්‍ර සහ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන, සංගීත ප්‍රසංග, වැඩමුළු සහ සාකච්ඡා, ප්‍රජා වෙළෙඳපොළ ඇතුළු සංස්කෘතිකාංග රැසකින් මෙය සමන්විත වන අතර මෙහි චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ද එක් වූ ජනාධිපතිවරයා සිතුවම් නිර්මාණය කරන ස්ථානයේ දී පින්තාරු සටහන් දෙකක් තබා සමරු සටහනක් ද තැබුවා.

UNESCO සංවිධානය විසින් සංරක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර ඇති මාතර කොටුව, නගරය සහ මාතර දිස්ත්‍රික්කයේ සම්ප්‍රදායික කලා අංග, මෙරට ආර්ථික හා සමාජීය පුනර්ජීවනයට සුවිශේෂී දායකත්වයක් සපයන අතර, ඒ හරහා අනෙකුත් ප්‍රදේශවල ජනතාවට සහ ගෝලීය හවුල්කරුවන් සමඟ දැනුම හුවමාරු කර ගැනීමට මෙම කලා උළෙල ඉවහල් වනු ඇති බව සඳහන්.

දිවංගත මංගල සමරවීර මහතාගේ පවුලේ සාමාජිකයන් වන ජයන්ති සමරවීර ගුණවර්ධන සහ චංචලා ගුණවර්ධන යන මහත්මීන්ගේ හා මහාචාර්ය ජගත් වීරසිංහ මහතා ඇතුළු මාතර Freedom Hub සංසදය විසින් මෙම කලා උළෙල ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙහි මූලික වැඩසටහන මෙහෙයවනු ලබන්නේ කලාකරුවකු සහ පුරාවිද්‍යාඥයකු වන මහාචාර්ය ජගත් වීරසිංහ සහ සංගීතඥයකු හා අධ්‍යාපනඥයකු වන ආචාර්ය සුමුදි සුරවීර යන මහත්වරුන් විසින්.
ප්‍රදීප් චන්ද්‍රසිරි, ප්‍රියන්ති අනූෂා, ෆීරි රහ්මාන්, හේමා ශිරෝනි, මාතර පාල පොතුපිටිය සහ අනුර ක්‍රිෂාන්ත ඇතුළු කලාකරුවන් 12 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන ඉදිරිපත් කිරීමකින් සහ මහාචාර්ය ජගත් වීරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ මාතර කලාකරුවන් 8 දෙනකු විසින් නිර්මාණය කරන ලද අතිරේක ප්‍රජා කලා වැඩසටහනක් මෙය සමන්විතයි.

පෙබරවාරි 04 නිදහස් දිනය දා, මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේදී අංග 7කින් යුත් එළිමහන් ප්‍රසංගයක් ද මෙම කලා උළෙලට සමගාමීව පැවැත්වේ. අමිල සඳුරුවන් විසින් ජන සංගීතය, බ්‍රසීලියානු ගායක පෝලා විසින් ජෑස් බොසා නෝවා (Jazz to bossa nova) සහ රෙගේ (reggae) සංගීතය, පහතරට බෙර වාදනය සහ ජෑස් බෙර වාදන කණ්ඩායමක් වන Baliphoincs කණ්ඩායමේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් සහ ඇමරිකාවේ රැප් (Rap) සහාකර්නාටික් (Carnatic) ගායක රෝලෙක්ස් රසති විසින් කරනු ලබන ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් ඇතුළු තවත් කලාකරුවන් රැසක් මෙම ප්‍රාසාංගික කලා දැක්ම සඳහා සහභාගී වෙනවා.

ප්‍රවේශපත්‍ර ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රසංගය හැර, මාතර කලා උළෙලේ අනෙකුත් අංග සියල්ල නොමිලේ නැරඹීමට හැකියි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරුණා කොඩිතුවක්කු, නිපුණ රණවක, හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම, එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චැංග් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.


