අද දිනයට යෙදෙන අසිරිමත් නත්තල් දිනය වෙනුවෙන් විශේෂ සුබ පැතුම් පණිවිඩයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා.
නත්තල යනු බලාපොරොත්තුවේ මංගල්‍යය බවත් “කඳුළින් සුසුමෙන් පීඩිතව අන්ධකාරයේ ඇවිද ගිය ජනතාව මහත් ආලෝකයක් දුටුහ.” එම බලාපොරොත්තුව අලුත් කරන්නට සියලු දෙනාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරමින් රට තුළ නව බලාපොරොත්තු ඇති කරවන සුබ නත්තලක් වේවා යැයි ජනාධිපතිවරයා එම පණිවුඩයේ සඳහන් කරනවා.
දිළිඳුන් සමග වේලක් වළඳන්න’’ යන තේමාව මුල් කර ගනිමින් ගවලෙනේ උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමරන අප කිසිදා එම යථාර්ථය අමතක නොකළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ජනපතිගේ නත්තල් දින පණිවුඩය පහතින්,
නත්තල යනු බලාපොරොත්තුවේ මංගල්‍යයයි. “කඳුළින් සුසුමෙන් පීඩිතව අන්ධකාරයේ ඇවිද ගිය ජනතාව මහත් ආලෝකයක් දුටුහ.” එම බලාපොරොත්තුව අලුත් කරන්නට අප සියළු දෙනාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරමින් රට තුළ නව බලාපොරොත්තු ඇති කරවන නත්තලක් අප සැමට උදා වේවායි පළමුව ප්‍රාර්ථනා කරමි.
“දිළිඳුන් සමග වේලක් වළඳන්න’’ යන තේමාව මුල් කර ගනිමින් ගවලෙනේ උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමරන අප කිසිදා එම යථාර්ථය අමතක නොකළ යුතු වෙමු.
සකල මිනිස් වර්ගයා පවින් මුදාගනු වස් කුරුසියේ සිය ජීවිතය පූජා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරන නත්තල සැබෑ පරිත්‍යාගශීලි සමයකි. තමන්ට එරෙහි වූවන්ට, තමන්ට වින කළ වූවන්ට සමාව දෙන ලෙසත්, සියළු වෛරයන්, අමනාපයන් ඉවතලන ලෙසත් කිතුනු ආගමික ඉගැන්වීම්වලින් අපට කියා දෙයි.
නත්තල උත්සවශ‍්‍රීයෙන් සැමරීම තුළ බාහිර ආටෝපයක් දිස් වුවද, සැබෑ ලෙසින් ඇතුළාන්තයෙන්, අධ්‍යාත්මිකව අප තුළ යහපත් පරිවර්තනයක් සිදු නොවන්නේ නම් එය සැබෑ අරුත්බර නත්තලක් නොවනු ඇති බව මගේ හැඟීමයි.
අභියෝග රාශියක් තම කර මතට කඩා වැටුණු සමයක අප මෙවර නත්තල සමරන්නෙමු. රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා එක්වෙමු යැයි ආරාධනා කරමින් ලෝකවාසී සැමට සාමය, සතුට සපිරි සුබ නත්තලකට සුභාශිංසන එක් කරමි.
රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2023 දෙසැම්බර් 24


