Monday, April 20, 2026
Homeදේශීයථෙරවාදී බුදුදහම ව්‍යාප්ත කිරීමට කෘතිම බුද්ධිය යොදා ගැනීමේ වැඩපිළිවෙළක්

ථෙරවාදී බුදුදහම ව්‍යාප්ත කිරීමට කෘතිම බුද්ධිය යොදා ගැනීමේ වැඩපිළිවෙළක්


ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කිරීමට කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා.

ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය භාවිතයට ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවන බවත්, ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගනිමින් උගත්, වියත් පිරසකගේ දායකත්වයෙන් එම කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ මහතා මේ බව පැවසුවේ අද (20) පෙරවරුවේ මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවති උපසම්පදා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවට සහභාගීවෙමින්.

සාමණේර භික්ෂුන් වහන්සේලා 300 නමක් උපසම්පදා ශීලයේ පිහිටුවන මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සව අද පැවැත්වුණා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්මය අද( 20)සිට ජූලි 27 වන දා දක්වා මාතලේ බණ්ඩාරපොල සුදු ගඟ උදකුක්ඛේප සීමාමාලකයේ දී පැවැත්වෙනවා.

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේට “දර්ශන විශාරද උපාධි” ශ්‍රී සන්නස්පත්‍රය හා විජිණිපත පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා..

“ඉන්දීය සංචාරය හමුවේ වුවත් මට මෙම අවස්ථාව සඳහා සහභාගීවීමට ලැබෙන පරිදි උත්සව කටයුතු සංශෝධනය කිරීම පිළිබඳව ස්වාමීන් වහන්සේලාට මෙන්ම දායක සභාවට ද මම ස්තූතිවන්ත වෙනවා.”

“මම මෙවර ඉන්දියානු නිල සංචාරය සිදු කරන්නේ දෙරට අතර ඉදිරි සබඳතා පිළිබඳ සාකච්ඡා කිරිමටයි. ඒ වගේම මෙරට ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ ඉන්දීය රජය අපට ලබාදුන් සහාය පිළිබඳ ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.”

“රාමඤ්ඤ මහා නිකාය මෙම උපසම්පදා මහෝත්සවය මාතලේ ප්‍රදේශයේ පැවැත්වීම බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂ වනවා.”

“ඒ වගේම මාතලේ පුරවරයට බෞද්ධ ඉතිහාසය තුළ වැදගත් ස්ථානයක් හිමිවෙනවා. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර ත්‍රිපිටකය ආරක්ෂා කිරීමට තැබූ පළමු පියවර තැබුවේ මාතලේ අලුවිහාරයේදියි. ත්‍රිපිටකය ආරක්ෂා කිරීමට රජයක් ලෙස මේ වන විට අප කටයුතු කර තිබෙනවා. ත්‍රිපිටකය සුරකිනවා යනු උතුම් සද්ධර්මය සුරැකීමයි.”

READ:   ශ්‍රී ලංකාව තේ වලින් ඉන්ධන ගන්න යයි..

“බෞද්ධ රටක් ලෙස ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ලෝකයට බුදු දහම රැගෙන යාමට අප කටයුතු කර තිබෙනවා.”

“මහායාන බුදු දහම තුළත් ත්‍රිපිටකය පිළිබඳ සඳහන් වෙනවා. චීනය මුද්‍රණය කර තිබෙන ලෝටස් සූත්‍රය ඇතුළත් මහායාන ත්‍රිපිටකය ලෝකයේ පළවෙනි මුද්‍රණය ලෙස සළකන්න පුලුවන්. ගර්ටන්බර්ග් මහතා බයිබලය මුද්‍රණය කළේ ඉන් පසුවයි. ඒ වගේම ථෙරවාද බුදුදහම ඇතුළත් ත්‍රිපිටකයත් මේ වන විට මුද්‍රණය කර තිබෙනවා.”

“ධර්මය ආරක්ෂා කිරීමට වර්තමානයේ තිබෙන තාක්ෂණය උපරිම වශයෙන් යොදා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම කෘතිම බුද්ධිය පිළිබඳව මේ වන විට සමාජය තුළ දැනුවත්භාවයක් තිබෙන නිසා ඊටත් වඩා පහසුවෙන් ධර්මය සුරක්ෂිත කිරීමට එය දායකකරගත හැකියි.”

“කෘතිම බුද්ධියට බුදු දහම පිළිබඳ සියලු දත්ත ඇතුළත් කිරීමෙන්, ඒ පිළිබඳ අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමට හැකියාව තිබෙනවා.”

“දුටුගැමුණු රජතුමා පිළිබඳව තිබෙන සියලුම තොරතුරු කෘතිම බුද්ධියට ලබා දුන්නොත් ඊට අදාළව අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට කෘතිම බුද්ධියට හැකියාව තිබෙනවා. වික්ටෝරියා රැජණ පිළිබඳව තොරතුරු ඇතුළත් කළත් එලෙසම පිළිතුරු සැපයීමට කෘතීම බුද්ධියට හැකියාව තිබෙනවා. තොරතුරු ලබා දෙනවා පමණක් නොව එය ප්‍රකාශ කිරිමේ හැකියාව GPT තාක්ෂණයෙන් ලැබී තිබෙනවා. මෙම නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් බුදු දහම තවදුරටත් සුරක්ෂිත කිරීමට කටයුතු කළ හැකියි.”

“බෞද්ධ ධර්මය දෙවියන් පදනම් කර ගත් ආගමක් නොවන බව අද සියලුදෙනා පිළිගන්නවා. බුද්ධ දේශනයේ සඳහන් වෙන්නේ ධර්මයක්. එය ඕනෑම අයෙකුට පිළිපැදිය හැකියි. කැමති නම් පිළිපදින්නෙ නැතුව සිටිය හැකියි. ධර්මය පිළිපදිනවා නම් එය තවදුරටත් විග්‍රහ කළ හැකියි. ඒ නිසා තමයි ධම්ම පදයේ “මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා” යනුවෙන් සඳහන් වෙන්නේ. ධර්මය පිළිපදින්නේ මනසින්. මිනිස් ඥානය වගේ, අනෙක් පැත්තෙන් දැන් කෘතිම ඥානය ද තිබෙනවා. මෙම කෘතිම ඥානය අපට තර්ජනයක් වෙයිද, අපට අවශ්‍ය ලෙස ප්‍රයෝජනයට ගත හැකිද? ඊළග දශක දෙක තුන තුළ ඇතිවිය හැකි ප්‍රශ්නය එයයි.”

READ:   පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුව ප්‍රකාශයට

“දැන් ඇතැම් අය කෘතිම ඥානයෙන් ප්‍රයෝජන ගනිමින් සිටිනවා. ජපානයේ සෙන් බුදු දහම කෂුමා කියල පුද්ගලයෙක් hotoke.ai වැඩසටහනින් සෙන් බුදුදහමට අදාළව පිළිතුරු ලබාදෙන ආකාරය පසුගිය දිනක දකින්න ලැබුණා. එහි සඳහන් වන්නේ “බුද්ධ ධර්මය අත ළඟ” යනුවෙනි. නමුත් අපි බලාපොරාත්තු වෙන්නේ එවැන්නක් නොවෙයි. එතැන විකෘති කිරීමක් සිදුව තිබෙනවා.”

“බුදු දහමේ පමණක් නොවෙයි අනෙකුත් ආගම්වලත් මෙම විකෘති කිරීම් දකින්න ලැබෙනවා. බයිබල් GPT කියලා තවත් වැඩසටහනක් තිබෙනවා. එහි සඳහන් වන්නේ “ක්‍රිස්තියානි ආගම ජේසුස්වහන්සේගේ මුවින්” යනුවෙනි. නමුත් එය එසේ විය නොහැකියි.”

“මෙවැනි ආගමික විකෘති කිරීම් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන නිසා අපට නීතියෙන් එය පාලනය කිරිමට ද හැකියාවක් නැහැ. ඒ නිසා මේවා පිළිබඳව අපේ අවධානය යොමු විය යුතුයි.”

“ඒ වගේම කෘතිම බුද්ධිය ධර්මය සදහා භාවිතා කිරීමේ දී අප මීට වඩා ගැඹුරින් ඒ පිළිබඳ පරීක්ෂණ කළයුතුයි. ඒ නිසා අපි තීරණය කළා මෙම කටයුතු සඳහා රුපියල් මිලියන 200ක පමණ මුදලක් වෙන් කිරිමට. තවත් වැඩිපුර මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ද කටයුතු කළ හැකියි.”

“ථෙරවාද බුදුදහම ලෝකයට ගෙන යාමේ දී කෘතිම බුද්ධිය භාවිතා කිරීම පිළිබද අපේ අවධානය යොමුව තිබෙනවා. එහිදී අභිධර්මය පිළිබඳව ද ගැඹුරු විග්‍රහයක් සිදු කළයුතුයි. මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාම පිළිබඳ අපේ ගරුතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගැනීමට ද අපි බලාපොරොත්තු වෙනවා. ඒ සදහා උන්වහන්සේලාට ආරාධනා කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.”

“තමන්ගේ අතේ තිබෙන ජංගම දුරකථනයෙන් සමාජ මාධ්‍ය තුළ සැරිසනවා මිස අද බෙහෝ දෙනෙක් බයිබලය, ත්‍රිපිටකය වැනි ආගමික ග්‍රන්ථ කියවන්නේ නැහැ.”

“අතීතයේ සිටම ථෙරවාදී බුදු දහම ආරක්ෂා කිරීමට කැප වූ ශ්‍රී ලංකාව එය තවදුරටත් සුරක්ෂිත කරමින් ලෝකයට ගෙන යාමට කැපවිය යුතුයි. කෘතිම බුද්ධිය ප්‍රයෝජනයට ගනිමින් මෙම උතුම් කාර්යය ඉටුකිරීමේ වැඩපිළිවෙළ මහා සංඝරත්නයෙන් අවවාද අනුශාසනා මෙන්ම උගත් වියත් පිරිසකගේ අදහස් ලබාගෙන ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි. එම කටයුතු සම්බන්ධීකරණය සදහා ජනාධිපති ලේකම්වරයා සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාද පත් කර තිබෙනවා. ඉන්පසුව සාකච්ඡා මාර්ගයෙන් මෙම කටයුතු ඉදිරියට කරගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.”

READ:   මිලේච්ඡ පාස්කු ප්‍රහාරයට අදට වසර 4යි: වින්දිතයින්ට සාධාරණය ඉටු වන්නේ කවදා ද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්