Wednesday, September 16, 2026
Homeදේශීය“අස්වැසුමට” රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍යයි - සාගල රත්නායක

“අස්වැසුමට” රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍යයි – සාගල රත්නායක

අඩු ආදායම්ලාභි පවුල් සවිබල ගන්වමින්, සහනයක් අවැසි ජනතාවට සහනයක් වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් ආරම්භ කළ “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙරට රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍ය බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම පිළිබඳව ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී.

අඩු ආදායම්ලාභී ජනතාව නඟාසිටුවීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ප්‍රමාදයකින් තොරව ගත යුතු බව පැවසූ ඒ මහතා එම ප්‍රතිපත්තිමය තීන්දු නිසි ලෙස නොගැනීම හේතුවෙන් පසුගිය කාලයේ ආර්ථික ගැටලු රැසකට රටට මුහුණ දීමට සිදු වු බව පෙන්වා දෙනවා.

“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ මෙතෙක් ප්‍රගතිය මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර වකුගඩු, ආබාධිත හා වැඩිහිටි දීමනා ලේඛනගත සෑම අයෙකුටම නිසි පරිදි එම ප්‍රතිලාභ ලබාදෙන ලෙස සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මේ දක්වා ක්‍රියාත්මක කළ සමෘද්ධි සංවර්ධන වැඩසටහන වෙනුවට හඳුන්වා දුන් අස්වැසුම සමාජ සුබසාධක වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිලාභීන් හඳුනාගැනීම විධිමත් කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළ ඒ මහතා මේ සඳහා සහාය ලබාදෙන ලෙස සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

මෙම වැඩසටහනින් දැනට ඉවත් වී සිටින සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ දායකත්වය ලබාගෙන “අස්වැසුම” වැඩසටහන සඳහා මේ වන විට ලැබී ඇති අභියාචනා සහ විරෝධතා නිරවුල් කරගනිමින් සුදුස්සන් හඳුනා ගැනීමේ කටයුතු කඩිනම් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

එසේම මෙම වැඩසටහන කාලීනව, නවීන තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යා යුතු බව සාගල රත්නායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

READ:   ජයග්‍රාහණය සඳහා පාකිස්තානයට ලකුණු 131ක ඉලක්කයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්