
මෙරට සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ඊයේ (09) ආරම්භ කෙරුණු “2023 සුප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනයේ” (Culinary Art Food Expo 2023) සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
ශ්‍රී ලංකාවටම ආවේණික ඉවුම් පිහුම් කලාව ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ශණයට ලක්ව ඇති බවත් එහි ප්‍රවර්ධනයට උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
සුපශාස්ත්‍ර පිළිබඳ පාසලක් ඇති කිරීම, සූපවේදීන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම ඇතුළු ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සූපශාස්ත්‍ර ශිල්පීන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කෙරෙන සුප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනය ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.
නිෂ්පාදන සහ සේවා ප්‍රදර්ශන කුටි 88කින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
2023 සූපශාස්ත්‍ර ප්‍රදර්ශනයට මට ආරාධනා කිරීම පිළිබඳව පළමුව මම ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා. අපි මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අපේ වැඩපිළිවෙල වන්නේ පළමු අදියර තුළ මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය දෙගුණයක් කර ගැනීම තුළින් ලැබෙන ආදායම ඉහළ නංවා ගැනීමයි. ඒ අනුව අප දැන් ඉහළ ආදායමක් ලබන සංචාරක ව්‍යාපාරයක් රට තුළ පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කළයුතුයි.
සංචාරක ක්ෂේත්‍රයේ ගාස්තු වැඩි කිරීමට නම් අප හොඳ සේවාවක් ඔවුන්ට ලබා දිය යුතුයි. ඒ සඳහා බොහෝ අංශ තිබුණ ද වඩාත් ආකර්ශනීය වී ඇත්තේ ශ්‍රී ලංකාව සතු ආගන්තුක සත්කාර සහ අපටම ආවේණික ඉවුම් පිහුම් කලාවයි. එබැවින් සංචාරක කර්මාන්තය පුළුල් වන විට රටේ ප්‍රමාණවත් සූපවේදීන් පිරිසක් ද සිටිය යුතුයි.
අද රටේ මානව සම්පත විශාල ලෙස රට හැර යාම දක්නට ලැබෙනවා. මේ මොහොතේ ප්‍රමාණවත් පරිදි සූපවේදීන් සංඛ්‍යාවක් අපේ රටේ නැහැ. ඒ නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමේ හැකියාව නොමැති වී තිබෙනවා. එබැවින් මෙරට හෝටල් ක්ෂේත්‍රය තුළ සූපවේදීන්ගේ සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට රජයේ සහාය ලබාදීමට අපි අපේක්ෂා කරනවා.
නමුත් රජයට තනිවම එම වෙළෙඳපොළ අවශ්‍යතාව සපුරාගත නොහැකියි. එබැවින් ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය අත්‍යාවශ්‍යයි. එහිදී ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට රජය සූදානමින් සිටිනවා.
ඉවුම් පිහුම් කලාව සහ සූපශාස්ත්‍ර කටයුතු සඳහා වෙනම පාසලක් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ද පෞද්ගලික අංශයේ දායකත්වය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ඉවුම් පිහුම් කලාව සහ සූපශාස්ත්‍ර කටයුතු පිළිබඳ පාසලක් සඳහා දකුණු පළාත තුළ ඉල්ලුමක් තිබෙනවා. නුවරඑළිය, බණ්ඩාරවෙල, ඇල්ල, දඹුල්ල යන නගරවලත් එවැනි පාසල් ආරම්භ කළ හැකි බව මම විශ්වාස කරනවා. තරුණ සූපවේදීන්ට අවශ්‍ය දැනුම ලබාදීමටත්, ප්‍රවීන විදේශීය සූපවේදීන්ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් එය වැදගත් අවස්ථාවක් වනු ඇතැයි මම සිතනවා.


