මුල්ලේරියාව පොලිස් වසමේ මාලබේ හල්බරාව වැඩබිමක් අසළ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි 5 හැවිරිදි දරුවකුගේ මළ සිරුරක් ඊයේ (08) සවස හමුව තිබුණා.
මෙහිදී මූලික පරීක්ෂණවලදී අනාවරණය වූයේ දරුවා බෝතලයක කටු ඇනී ඇති බවයි.
බිඳුණු වීදුරු බෝතලයත් දරුවාගේ සිරුර තිබූ දුර ප්‍රමාණයත් තවත් කාරණා රැසක් නිරීක්ෂණය වීමෙන් දරුවාගේ සීයා හා සැකකරු පොලිසිය විසින් දැඩිව ප්‍රශ්න කර තිබේ.
ඒ අනුව දරුවාගේ මරණයට සැක පිට වැඩබිම අසල තණකොළ කපමින් සිටි පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
දරුවාගේ පියා වෙන්ව ජීවත්වන අතර මව රැකියාවකට යෑමෙන් දරුවා ඔහුගේ මිත්තනිය සහ සීයා ලඟ බලාගැනීමට තබා ගොස් තිබේ.
අනතුර වූ වැඩ බිමෙහි මියගිය දරුවාගේ සීයා මුරකරු වශයෙන් සේවය කර ඇති අතර එදින සීයා වෙනත් ගමනක් යෑම හේතුවෙන් දරුවා අසළ නිවසක තබා යෑමට සූදානම් වූ විට දරුවා පවසා ඇත්තේ තමන් තණකොළ කපන මාමා සමග පරිසමෙන් ඉන්නම් .. යනුවෙනි.
දරුවා මියයෑමට පැයකට පමණ පෙර දරුවා එම වැඩබිමෙහි තවත් පුද්ගලයෙකු සමඟ සිටින ආකරය අසළ කාන්තාවක් දැක තිබේ.
දරුවා විඳුරු බෝතලයක කටු ඇනී මියගොස් ඇති බව අසළ නිවැසියෙකුට දැනුම් දී ඇත්තේ ද සැකකරු විසිනි.
තණකොළ කපන යන්ත්‍රයේ දෝෂයක් පරීක්ෂා කරමින් සිටි අතරතුර අසළ තිබූ වීදුරු බෝතලයක් එහි වැදී බිඳී ගිය බව සැකකරු පවසා ඇත.
වීදුරු බෝතලය බිඳී විසිරයෑම වළාක්වා ගැනීමට තමන් යන්ත්‍රයේ තලය පසෙකට ගත් අවස්ථාවේ දී අසල සිටි දරුවාගේ උදර ප්‍රදේශයේ ගැටී තුවාල සහිතව දරුවා ඇඳ වැටුණු බව ඔහු පවසා තිබේ.
ඉන් බියට පත් තමන් දරුවා වීදුරු බෝතලක් බිදී කටු ඇනීමෙන් මියගිය බව ඇඟවීමට කටයුතු කළ බව සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබේ.
51 හැවිරිදි සැකකරු හෙට (10) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


