දේශීය

මධුර හඬින් රටක් නැළැවූ ක්‍රිස්ටෝපර් පෝල්

හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නඟා… මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩවෙලා…

සැප්තැම්බර් 23, 2021

file

දශක හයකටත් වඩා වැඩි කාලයක් සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනාගත් ඒ සොඳුරු ගායකයා ක්‍රිස්ටෝපර් පෝල්. මේ ගීතයට අමතරව වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා, රුවන් තොරණ තනා රන් තැඹිලි පොකුරු ගසා, ඇළ දොළ ගංගා යාවි ගලා, උදේ ගෙදර පුංචි යුද්ධයක් වැනි අතිශය ජනප්‍රිය ගීත ඔහු විසින් ගායනා කරනු ලැබුවා. ජීවන ගමනේ අසූතුන්වැනි විය ලබන තෙක්ම තරුණයකු සේ ජව සම්පන්නව රූපවාහිනියේ, ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනු ලැබූ ක්‍රිස්ටෝපර් පෝල් ඉකුත් වසර එකහමාරක් දෙකක් යනතුරු කිසිම මාධ්‍යයක් තුළින් අප දුටුවේ නැහැ. සරසවිය අප ඔහු පිළිබඳ තතු විත්ති හොයා බැලුවේ නිරන්තරයෙන්ම ඔහු එලෙස දැකලා පුරුදු චරිතයක් වූ නිසා. ඔහුගේ නිවෙස සොයා ගිය අපට දැක ගන්නට ලැබුණේ අතිශය සංවේදී දසුනක්. එදා කඩිසරව, සුපුරුදු සිනහව මුවට නංවා ගෙන, අතිශය මධුර හඬින් ගීත ගායනා කරනු ලැබූ ඔහු, අද ගත කරන්නේ රෝද පුටුවකට සීමාවූ ජීවිතයක්. ඔහුගේ රුව ද වෙනස් වෙලා. ක්‍රිස්ටෝපර් පෝල් දැන් දකින කොයිකාටත් නෙතගට කඳුළක් එනු නොඅනුමානයි. ඔහුත් එක්ක වැඩි විස්තර අපට කතා කරන්නට බැරි වුණා. කතා කිරීමද ඔහුට වෙහෙසක්. ක්‍රිස්ටෝපර් පෝල්ට මොකද වුණේ.. ඒ ගැන කියන්න අපිත් එක්ක අදහස් බෙදාගත්තේ ඔහුගේ දියණියක වූ ශ්‍යාමිලා පෝල්.

ඇත්තටම ක්‍රිස්ටෝපර් මහත්මයාට මොකද වුණේ?

අපේ නංගිලා ගෙදර ඉන්න වෙලාවක තාත්තව ඇද වැටීමකට ලක්වෙලා. ඔළුවේ නහර දෙකක ලේ කැටියක් හිරවෙලා තියෙනවා කියලා තමයි වෛද්‍යවරුන් කිව්වේ. මේ හේතුවෙන් තාත්තගේ ඇඟේ එක පැත්තක් පණ නැහැ. හරියටම කිව්වොත් වම් පැත්ත. ඉස්පිරිතාලෙ හිටියා දවස් දහයක් විතර. පිසියෝ තෙරපි කළා දවස් කිහිපයක්. ඒකෙන් තරමක් ඇවිදින්නට පුළුවන් වුණා. කතා කළාට හඬ පිට වෙන්නෙත් නැහැ වැඩිය. බොහොම අමාරුවෙන් වචනයක් දෙකක් ගළප ගන්නවා.

ඔබේ පියා මෑතක් වනතුරු ප්‍රසංග වේදිකාව දෙවනත් කළ අපූරු චරිතයක්?

ඔව්. තාත්තා හරිම පිළිවෙලට ඇඳපු කෙනෙක්. කොයි වෙලාවේ ප්‍රසංග වේදිකාවට ගියත් ඔහු සුපුරුදු පිළිවෙළටම වේදිකාවට ගොඩවෙනවා. ඒ වගේම තාත්තාගේ ගීත අහන්න බොහෝ දෙනා ප්‍රිය කරනවා. ඉතින් අවුරුදු 80 ඉක්මවලා යනතුරු තාත්තා ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කළා. ඒ වගේම රූපවාහිනී වැඩසටහන්, ගුවන් විදුලි වැඩසටහන්වලට නිරන්තරයෙන්ම ආරාධනා ලැබුණා. ඔහු ඒ සඳහා නොවරදවා ම සහභාගි වුණා. හදිසියේම මේ සිදු වූ අසනීප තත්ත්වය අපිටත් එකවර අදහගන්න බැරි වුණා. ඔහුට සිංහල වෙදකම් කරන්නට තමයි අපි හිතාගෙන ඉන්නේ.

මාධ්‍ය තුළින් ඔබේ පියාගෙ අසනීපය ගැන වැඩි සඳහනක් වුණේ නැහැ?

කියන්නට කණගාටුයි ජාතික රූපවාහිනිය හැරුණු කොට කිසිම මාධ්‍යයකින් අපේ තාත්තා පිළිබඳ වැඩසටහනක් හෝ විස්තරයක් සඳහන් කළේ නැහැ. ඇතැම් නාළිකා දුරකථන ඇමතුම් දීලා සුවදුක් හොයල බලනවා. ඒකත් තාත්තට වටිනවා. මොකද ඔහු කැමතියි ඒ වගේ දේවල් කරනවට. අද මේ ඔයාලා ආපු වෙලාවෙත් තාත්ත කිව්වා ඔයාලට හරියට සලකන්න කියලා. ඒ වගේම තාත්ත හරි කැමතියි ආගන්තුක සත්කාරවලට. කවුරුහරි ගෙදරට ආපුවාම හරියට සලකගන්න බැරි වෙන එකට තවමත් ඔහු දුක්වෙනවා.

ඔබේ පියා පිළිබඳ සුවිශේෂී මතකයන් කතා කළොත්?

ඇත්තටම ඒ ගැන නම් කියන්න වචන නැහැ. අපේ අම්මත් මීට අවුරුද්දකට කලින් නැති වුණා. ඇයවත් මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ. අපේ තාත්තා සංගීත ප්‍රසංගවලට ගිහිල්ලා ඒවා කීයට අවසන් වුණත් අනිවාර්යනේම ගෙදරට එනවා. එහෙම එන ගමන් කන්න කොහේ හරි නැවැත්තුවොත් එයා කන කෑම වර්ගයෙන්ම අපේ පවුලේ සියලු දෙනාට අරගෙන එනවා. තාත්තා කීයට ආවත් අපි නැගිටලා ඒ කෑම කන්න ඕනේ. ඒක තමයි එයාගේ එකම සතුට. ඒ වගේම තාත්තා අපිට හරියට ආදරේ කළා. හොඳට ඉගැන්නුවා. ඇත්තටම මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න අපි පින් කරලා තියෙනවා.

file

ඔබේ පියාගේ ගීත බොහෝ සංගීත කණ්ඩායම් සහ නවක ගායකයන් ගායනා කරනවා. ඇතැම් අය විකෘති කිරීම් වලටත් ලක් කරනවා. ඒ ගැන තාත්තා දුක් වෙන්නේ නැද්ද?

තාත්තාගේ සින්දු එක එක අය ඉස්සර ඉඳලම කිව්වා. මට මේ වෙලාවේ මතක් වෙනවා අසූ නවය අනුව කාලයේ සිදුවුණු සිදුවීමක්. එක්තරා ගායකයෙක් නිතරම තාත්තාගේ ගීත කිව්වා. ඔහු තාත්තා යන ප්‍රසංගවලට ගිහිල්ලා තාත්තාගෙම ගීත ගායනා කරලා එනවා. ඒත් ඔවුන් කරන්නේ සින්දුවල වචන තියෙන හරියෙදි ඒවා නියමිත අන්දමින් ගායනා කරලා සින්දුවේ මියුසික් යන හරියේදී එක එක ඇඩ් දානවා. තාත්තා තුන් හතර ගමනක් බලාගෙන හිටියා. බැරිම තැන එක්තරා අවස්ථාවකදී ඒ ගායකයාව අල්ලගෙන පහර දෙන්න දෙන්නත් හැදුවා. තාත්තා කිව්වේ සිංදු කිව්වට කමක් නෑ ඒවා විකෘති කරන්න එපා කියලා. මෑත කාලයේ නම් තාත්තාගේ සින්දු එක එක අය කියනවා. මම නම් කියන්නේ ඒ සිංදු කිව්වට කමක් නැහැ. ඒත් ඒවා විකෘති කරන්න එපා. ඒ සින්දුව කියනවා නම් ඒකෙ රසය එන්න ඕනේ. තාත්තත් ඇතැම් අවස්ථාවන්වලදී ඊයේ පෙරේදා ඔය වගේ විකෘති කිරීම්වලට ලක් වෙච්ච තාත්තාගේ ගීත ඇහුවා. එතකොට නම් කියන්නේ “මේ ළමයින්ට පිස්සු” කියලා. එතැනින් එහාට මොකුත් කියන්න යන්නේ නැහැ. ප්‍රේමදස මහත්තයා තාත්තත් එක්ක හරිම හිතවත්. ඒත් ඔහුගෙන් කිසිම අයුතු උදව්වක් අරන් නැහැ. තාත්තා පසු කාලෙක දේශපාලන වශයෙන් අතිශය විශාල අන්දමින් පළිගැනීම්වලට ලක් වුණා. තාත්තා රජයේ රස්සාවකුත් කළා. ඒ කාලේ ඔහු තරමක කලකිරීමකින් හිටියේ. කොහොමහරි මහින්ද මහත්මයා ජනාධිපති වුණායින් පස්සේ ඔහු තාත්තට බොහෝම සමීප වුණා. අදටත් අප්‍රේල් 10 අපේ තාත්තගේ උපන්දිනේට මහින්ද මහත්මයා පැය භාගයක් විතර කතා කරනවා. ඔහුවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ .

ඔබේ පියාට ගීත ගායනා කරන්න දැන් අපහසු ඇති?

ඔව්. තාත්තට සින්දු කියන්න බැහැ. සමහරවිට තාලෙට කියන්න උත්සාහ කරනවා. රූපවාහිනියේ බයිලා සාදයටත් තාත්තට ආරාධනා ලැබුණට සින්දු කියන්න වුණේ නැහැ. මම තමයි ඒ ගීත ගායනා කළේ. සිංහල බෙහෙත් හෝ කරල තාත්තව ඉක්මනට සනීප කරගන්න තමයි අපි බලන්නේ.

file

උපුටා ගැනීම: සරසවිය පුවත්පතින්

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

11 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

11 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago