
අම්මා යනු අපි හැමෝගෙම මුළු ලෝකයයි.
එයට දුප්පත්, පොහොසත්, ජාති භේද, කුල භේද නැහැ.
ලේ කිරි කර පොවා, කැත කුණු අතගා අප පෝෂණය කර සමාජයට වැඩදායි පුරවැසියකු ලෙස හිටගන්නට වරම් දුන් අම්මාට ගෞරවයක් ලෙස ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය ලෙස අද(14) නම්කර තිබෙනවා.
අම්මා වෙනුවෙන් විශේෂ දින අවශ්‍ය නැත. එය අපට දැනෙන සිතුවිල්ලයි.
දින 365 ඇයගේ දිනයයි.
අම්මා තරම් අපගේ හැඟීම්, දැනීම්, ඕනෑ එපාකම් හඳුනන කෙනෙකුන් මේ ලෝකයේ නැති තරම්.
නමුත් වර්තමානය වනවිට අම්මා යන උතුම් වස්තුවට සමහර පුද්ගලයින් සලකන ආකාරයනම් අනුමත කළ නොහැකියි.
සීමා මායිම් නැති අම්මාගේ ආදරයට, අපි පෙරළා නිසි අයුරින් ගෞරව කරනවාදැයි හිතා බැලිය යුතුයි.
ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය යෙදී තිබෙන අද(14) දිනයේ මෙරට මව්වරුන් 6,215ක් වැඩිහිටි නිවාසවල දිවි ගෙවන බව, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය අනාවරණය කරයි.
ඒ අතුරින් 5,781 දෙනෙකු පෞද්ගලික වැඩිහිටි නිවාසවලත්, 434 දෙනෙකු රජයේ වැඩිහිටි නිවාසවලත් දිවි ගෙවන බව එහි අධ්‍යක්ෂවරයා පවසනවා.
දුකක්, කරදරයක් නොදී අම්මා රැක ගැනීම අප කාගේත් වගකීමක් නොවේද?


