දේශීය

මෙවර ලෝක කුසලාන කිරුළ කාටද ?

තීරණය අද මෙල්බර්න් පිටියේදී වැස්සෙන් බාධා වීමට වැඩි අවස්ථා

ශූරයන්ට අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක් (ආසන්න වශයෙන් රුපියල් කෝටි 56ක්) සමඟ අයිසීසී කුසලානය පිරිනැමෙන 8 වැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (13) පස්වරු 1.30ට පාකිස්තානය සහ එංගලන්තය අතර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියේ අනුශූරයන්ට පිරිනැමෙන ත්‍යාග මුදල ඩොලර් 800,000කි.

බාබර් අසාම්ගේ නායකත්වයෙන් පාකිස්තාන පිල තරගයට එක් වන අතර, ජොස් බට්ලර් එංගලන්ත කණ්ඩායම මෙහෙයවයි. මේ දෙපිලම දෙවැනි වරට විස්සයි20 ලෝක ශූරයන් වීමේ අරමුණින් අද තරගයට එක් වෙයි.

මින් පෙර පාකිස්තානය 2009දීත් එංගලන්තය 2010දීත් ශූරතාව දිනා ගෙන තිබේ. මේ දෙපිලම විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව මෙය වන අතර, පාකිස්තානය 2007දීත් එංගලන්තය 2016දීත් අනුශූරයන් බවට පත්ව ඇත.

මෙවර තරගාවලියේ මූලික වටයේදී පාකිස්තානය මුල් තරග 2ක පරාජය වීමෙන් අවසන් පූර්ව වටය පවා අහිමි වීමේ තත්ත්වයක සිට අවසන් තරගයට එක් වීම කැපී පෙනෙන අතර, තරගයක් පරාජය වූ එංගලන්තයට වැස්ස හේතුවෙන් තරගයක් අහිමි විය. සුපිරි 12දී පාකිස්තානය දෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථානයෙන් අවසන් වටයට එක් වූ අතර, එංගලන්තය පළමු කාණ්ඩයේ දෙවැනි ස්ථානයෙන් අවසන් වටයට එක් විය.

විශේෂයෙන් මේ කණ්ඩායමේ ද්විත්වයේම ආරම්භක පිතිකරුවන් අවසන් පූර්ව තරගවලදී යළි ලකුණු අතරට පිවිසීමට සමත්ව ඇති හෙයින් අද දින උණුසුම් තරගයක් දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වනු ඇත.

මේ දෙපිල විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයේදී හමු වන පළමු අවස්ථාව මෙය වන අතර, මින් පෙර 1992දී එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී සිදු වූ හමුවීමෙන් පාකිස්තානය ජය ගෙන තිබේ.

විස්සයි20 තරග බිමේ මේ කණ්ඩායම් දෙක 28 වරක් හමුවෙද්දී ඉන් වැඩි ගෞරව අත් කර ගැනීමට එංගලන්තය සමත්ව ඇත්තේ තරග 17ක ජය සතු කර ගනිමිනි. පාකිස්තානය තරග 9ක් ජය ගෙන ඇති අතර, තරගයක් ලකුණු සම වීමෙන් ද තරගයක් විසඳුමකින් තොරව ද නිමා වී ඇත. විස්සයි20 ලෝක කුසලාන තරග බිමේ දෙපිල හමුවන තෙවැනි අවස්ථාව මෙය වන අතර, මින් පෙර හමුවූ අවස්ථා දෙකම ජය ගෙන ඇත්තේ එංගලන්තයයි.

මේ අතර අද දිනයේ මෙල්බර්න් ප්‍රදේශයට වර්ෂාවෙන් බලපෑම් එල්ල වීමේ වැඩි අවධානමක් ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ. ඒ අනුව මේ ප්‍රදේශයට වර්ෂාව ඇති වීමේ සම්භාවිතාව 95%ක් පමණ විය හැකි බවත්, ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව 56%ක් බවත් දක්වා ඇත.

කෙසේ වුවත් අවසන් පූර්ව තරග දෙකට මෙන්ම අවසන් මහා තරගයට ද අතිරේක දිනයක් වෙන් කිරීමට කටයුතු කර තිබේ. එහෙත් ලබන සඳුදා (14) ද වැසි ඇති වීමේ සම්භාවිතාව 90%ක් බවටත් කාලගුණ අංශ අනාවැකි පළ කර තිබේ.

කෙසේ වෙතත් වැස්සෙන් බාධා වීම හේතුවෙන් මේ තරගයේ ප්‍රතිඵලයක් ගැනීමට නම් අවම වශයෙන් කණ්ඩායම් දෙකම ඕවර 10 බැගින් ක්‍රීඩා කර තිබිය යුතුය. අද දිනයේ තරගය අතරතුරදී වැසි ඇති වීමෙන් තරගය නතර කළ හොත් එතැන් සිට පසුදින (14) තරගය යළි ක්‍රියාත්මක වනු ඇත.

දින දෙකේම තරගය පැවැත්වීමට හැකියාවක් නොලැබුණ හොත් පාකිස්තානය සහ එංගලන්තය සම ශූරයන් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

මෙවර තරගාවලියේදී මෙල්බර්න්හිදී පැවති මූලික වටයේ තරගවලට වර්ෂාවෙන් බාධා ඇති වූ අතර, ඒ අනුව තරග 3ක් පන්දුවක් හෝ නොයවා අත්හැර දැමීමට සිදු විය.

නිරෝෂාන් ප්‍රියංකර

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

3 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

5 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

6 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

6 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

6 days ago