දේශීය

ජනපති ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය

අතිපූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි, අන්‍යාගමික පූජකතුමනි, මව්වරුනි , පියවරුනි,සහෝදර සහෝදරියනි, ආදරණීය දූ දරුවනි, මිත්‍රවරුනි. අද මා ඔබ අමතන්නේ අභියෝගාත්මක අවස්ථාවකයි. ඔබගේ එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් සහ මිල වැඩිවීම් ගැන මට හොඳින් වැටහෙනවා. ගෑස් හිඟකම, ඒ වගේම ඉන්ධන හිඟකම, විදුලිය ඇණහිටීමේ තත්ත්වය වැනි ගැට‍ලු ගැනත් මා හොඳින් දන්නවා. පසු ගිය මාස දෙක තුළ මහජනතාව විඳි අනේකවිධ දුක් කම්කටොළු ගැනත් මා ඉතා සංවේදීයි. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහැර හේතූන් නිසා එම තත්ත්වය තවදුරටත් පවතින බව මා දන්නවා. මා ගන්නා ක්‍රියාමාර්ගවලට වගවීම මා භාර ගන්නවා. මහජනතාව අත්විඳින යම් යම් කරදරකාරී ජීවන රටාවන්ට විසඳුම් සොයන්නට මා අද දැඩි තීන්දු තීරණ ගැනීමට අදිටන් කරගෙන තිබෙනවා.

එයට උපකාරී වීමට ජාතික ආර්ථික කවුන්සිලයකුත්, ඒ වගේම එයට සහාය වීමට උපදේශක සභාවකුත් මා පත් කළා. ඒ තුළින් මා ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක වේ දැයි නිරතුරුවම අධීක්ෂණය කරන්නටත් මා කටයුතු කරනවා. ඒ නිසා මා ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන විශ්වාසය තබන ලෙස මා ඔබගෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා සිටිනවා. මා ජනතාවගේ අසීරුකම් හොඳින් හඳුනන කෙනෙක්. අප මුහුණ දුන් කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයේ දී ඉදිරි පෙළ සිටි හමුදා සෙබළාත්, යුද්ධයට මැදි වූ අහිංසක සිවිල් ජනතාවත් මුහුණ දුන් සියලු අසීරුතාවයන් හොඳින් වටහාගෙන ඒ සියල්ල මනාව කළමනාකරණය කිරීමට මට හැකි වුණා.

අද තිබෙන අසීරු තත්ත්වය අපේ රටට පමණක් මුහුණ දීමට සිදු වූවක් නොවෙයි. මුළු ලෝකයම නොයෙක් ආකාරයේ පීඩාවලට ගොදුරු වී සිටිනවා. කොවිඩ් වසංගතය නිසා ඉහළ නැංවුණු නැව් ගාස්තු, භාණ්ඩවල මිල ඉහළ යෑම්, යම් යම් භාණ්ඩවල හිඟයන් යන මේ සියල්ල අපේ පාලනයෙන් තොරයි. එනමුත් අපි ජනතාවගේ පැත්තෙන් බලා සහනශීලී පිළිවෙතක් අනුගමනය කරනවා. මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවෙයි. එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට දායක වූ අය, අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටිද්දී,මා උත්සාහ කරන්නේ මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහනයක් ලබා දෙන්නයි.මෙවැනි අර්බුදකාරී අවස්ථාවන්හීදි රටක දේශපාලකයින්ගේහා බුද්ධිමතුන්ගේ වගකීම සාමූහික ව ප්‍රශ්නවලට විසඳුම් සෙවීමයි.අද තිබෙන ගැටලුවලට මුල අපේ විදේශ විනිමයඅර්බුදයයි.

රුපියල නම්‍යශීලී ලෙස හැසිරීමට ඉඩ සැලසීමට පෙර තිබුණු තත්ත්වයට අනුව, මේ අවුරුද්දේ අපේක්‍ෂිත අපනයන ආදායම ඩොලර් බිලියන 12ක්. පසුගිය මාස දෙකේ දත්ත අනුව මේ අවුරුද්දට ඩොලර් බිලියන 22ක ආනයන වියදමක් දරන්න වෙනවා. ඒ අනුව ඩොලර් බිලියන 10ක හිඟ වෙළඳ පරතරයක් ඇතිවෙනවා.පසුගිය කාලය තුළ තිබෙන දත්ත අනුව මේ අවුරුද්දට සංචාරක ව්‍යාපාරයෙන්, ඒ වගේම තොරතුරු තාක්ෂණය වැනි සේවා අපනයනවලින් ඩොලර් බිලියන 3ක් පමණ ලැබිය හැකි අතර, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වලින් අපට ඩොලර් බිලියන 2ක් ලැබෙනවා. ඒ අනුව හිඟ වෙළඳ පරතරය ඩොලර් බිලියන 5ක් වෙනවා.

මේ අතර, මේ වර්ෂය තුළ ඩොලර් බිලියන 6.9ක් ණය වාරික සහ ස්වෛරී බැඳුම් වෙනුවෙන් ගෙවන්නට‌ වෙනවා. එවිට ඩොලර් බිලියන 11.9ක හිඟයක් ඇති වෙනවා. අනෙකුත් ලැබෙන ණය ආධාර සහ ආයෝජන ලෙස ඩොලර් බිලියන 2.5ක් අපේක්‍ෂා කරනවා. මේ ආකාරයට විදේශ මුදල් ප්‍රවාහයේ ඩොලර් බිලියන 9.4ක සම්පූර්ණ හිඟයක් තියෙනවා.එහෙත් රුපියල නම්‍යශීලී කළාට පසුව, අපනයන ආදායම ඩොලර් බිලියන 13ක් දක්වා වැඩි වේ යැයි අපේක්‍ෂා කරනවා. ඒ වගේම ආනයන වියදම ඩොලර් බිලියන 22 සිට ඩොලර් බිලියන 20 දක්වා අඩු කර ගන්නත් පුළුවන් වේවි. එසේ වුවහොත් වෙළඳ ශේෂ හිඟය ඩොලර් බිලියන 7 දක්වා අඩු කර ගන්න පුළුවන්. අපි ඉලක්ක කර ගත යුත්තේ එයයි.

ඒ වගේම සේවා අපනයන්ගෙන් ඩොලර් බිලියන 4කුත්, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 5කුත් අපේක්ෂා කරන්න පුළුවන්. මේ අනුව අපේ වෙළඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 2.4ක් වනවා. මේ හිඟය පියවා ගැනීමත්, අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් අප ක්‍රියා කළ යුතුයි.මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමග අපගේ ණය වාරික ගෙවීම් ගැන අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අප රටට හිතකර ආකාරයට නව ක්‍රමවේදයක් තුළ මෙය ක්‍රියාත්මක කිරීමට රජය නොයෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඊයේ පැවැත්වූ සාකච්ඡාවත් මේ අරමුණින් කළ එකක්. ඒ සාකච්ඡා තුළින් අප බලාපොරොත්තු වන්නේ වසරකටඅප ගෙවිය යුතු ණය වාරික, ස්වෛරීත්ව බැඳුම්කර ආදිය ගෙවීම් සඳහා ක්‍රමවේදයක් සලසා ගැනීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මා කළ සාකච්ඡාවට පසුව වාසි අවාසි අධ්‍යනය කොට ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා. පසුගිය කාලයේ මා ගත් සමහර තීන්දු නිසා ආනයන වියදම බොහෝ ලෙස පාලනය කර ගන්නට හැකි වුණා. මේ ප්‍රශ්නය කලින්ම දුටු නිසා තමයි අපි මීට වසර දෙකකට පෙර වාහන ආනයනය නතර කළේ. ඊට අමතරව දේශීයව අපේ අවශ්‍යතා සපුරාලන කර්මාන්ත අපි දිරිමත් කළා. ඒ වගේම බොහෝ අත්‍යාවශ්‍යම නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය නතර කර ඒ බෝග වර්ග අපේ රටේම වවන්න අපි කටයුතු කළා. ඒවායේ සාර්ථක ප්‍රතිඵල අපට දැන් පෙනෙනවා.

ආනයන වියදම පාලනයේ දී අපට මතුවන බරපතලම ගැටලුව වන්නේ ලෝක වෙළඳපොළ තුළ වේගයෙන් වැඩි වෙන ඛනිජ තෙල් මිලයි. සාමාන්‍යයෙන් අපේ ආනයන වියදමෙන් සියයට 20 කට වඩා වැය වන්නේ තෙල් සඳහායි. පසුගිය මාස කිහිපය තුළ පමණක් ලෝක වෙළඳපොළේ තෙල් මිල දෙගුණයකට වඩා වැඩි වී තිබෙනවා. අපේ රට තුළත් තෙල් මිල වැඩි කිරීම නොවැළැක්විය හැකි හේතුවක් වුණේ මේ නිසායි. වාහනවලට පමණක් නොව විදුලිය ජනනය කිරීම සඳහාත් අපේ රටේ විශාල වශයෙන් තෙල් භාවිතා වෙනවා. මේ නිසයි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හැකිතාක් යොදා ගැනීම සඳහා මා දිගින් දිගටම සාකච්ඡා කර අදාළ ආයතන උනන්දු කළේ.

ඒ නිසා තෙල් භාවිතය හා විදුලිය භාවිතය හැකිතාක් සීමා කිරීමෙන් ජනතාවටත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් සහාය දිය හැකියි. මේ දුෂ්කර අවස්ථාවේ ඔබ ඒ වගකීම තේරුම් ගෙන කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

කොවිඩ් වසංගතය නිසා කඩා වැටුණ සංචාරක කර්මාන්තය යළි හිස ඔසවමින් තිබෙනවා. පසුගිය මාස දෙකේ ලංකාවට සංචාරකයන් පැමිණීමේ පැහැදිලි වර්ධනයක් දක්නට ලැබුණා. ඒ වගේම මේ වන විට තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශන ක්ෂේත්‍රවලට රජය විසින් යටිතලපහසුකම් සැපයීම වේගවත් කිරීම නිසා මේ ක්ෂේත්‍ර හරහා රටට එන ආදායමත් වැඩි වෙමින් පවතිනවා. අපි ඉතිහාසයේ ඕනෑතරම් අවස්ථාවල වැටිල නැගිටපු ජාතියක්. විදේශ ආක්‍රමණවලට, මහා සාගතවලට, ස්වාභාවික විපත්වලට, ත්‍රස්තවාදී උවදුරුවලට අපි මුහුණ දීලා ආපසු නැගිටලා තියෙනවා. පසුගිය කොරෝනා වසංගතයට අපි මුහුණ දුන් ආකාරය ජාත්‍යන්තර ආයතනවල පවා ප්‍රශංසාවට ලක් වුණා. විසඳුම් ක්‍රියාත්මක කිරීමේ දී යම් කාලයක් අපට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට වෙන බව අපි සියලු දෙනාම වටහා ගත යුතුයි. ඒ නිසා අධෛර්යවත් නොවී මේ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට ජාතියක් වශයෙන් එක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

ඔබ මගෙන් ඉල්ලා සිටියේ සුරක්‍ෂිත බව, විනය, නූතන දියුණු රටක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්. මගේ ධුර කාලයේ වසර දෙකහමාරකට ආසන්න කාලයෙන් වසර දෙකක්ම කැප කළේ වසංගතයෙන් ඔබ සහ ඔබේ දරුවා ආරක්‍ෂා කර ගන්නයි. නිරෝගී වූ මව්බිම ඇතුළේ මගේ ඉදිරි ධුර කාලසීමාවම ඒ මුල් අරමුණු වෙනුවෙන් කැප කරනවා.

ඇමති මණ්ඩලයෙන්, පාර්ලිමේන්තුවෙන් සහ රාජ්‍ය සේවකයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ දරුවන්ට හොඳ රටක් ලබාදීමේ අපෙන් අපේක්‍ෂිත අරමුණ වෙනුවෙන් අපි කණ්ඩායමක් ලෙස අධිෂ්ඨානගතව කැප වන්නටයි. මා දේශපාලනයට ආවේ ඔබේ ආරාධනයෙන්. ඔබ මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවා. මා ඒ විශ්වාසය කිසි විටෙකත් කඩ නොකොට දිවි හිමියෙන් ආරක්‍ෂා කරනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි.

Recent Posts

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

7 hours ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

7 hours ago

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

2 days ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

2 days ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

2 days ago