Wednesday, April 15, 2026
Homeදේශීය'පාවෙන තෙත් බිම්' දහසක් බේරේ වැවට මුදා හැරේ

‘පාවෙන තෙත් බිම්’ දහසක් බේරේ වැවට මුදා හැරේ

බේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත් බිම්” දහසක් වැව මධ්‍යයට මුදා හැරීම අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරිණ.අවිධිමත් නාගරීකරණය, කොළඹ නගරය තුළ පිහිටි අපජලවාහිනී පද්ධති නිසි ලෙස යාවත්කාලීන නොවීම හේතුවෙන් බේරේ වැව අපවිත්‍ර වී තිබේ. එහි ජලය පවිත්‍ර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්.ඩී. සොයිසා මහතාගේ උපදෙස් පරිදි පාවෙන තෙත් බිම් වැඩසටහන අත්හදා බැලිණ.පීවීසී බට, උණ බට, ෆෝම් මෙට්ට පාවෙන ආධාරක ලෙස යොදාගනිමින් කැනාස්, සැවැන්දරා සහ හෙලිකෝනියා වැනි ශාක රෝපණයෙන් ජල පවිත්‍රකරණය සඳහා කළ පරීක්ෂණය සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇතැයි පරිසර විද්‍යාඥ රනෝෂි සිරිපාල මහත්මිය පෙන්වා දෙයි.පාවෙන තෙත් බිම්වල අන්තර්ගත ශාක මගින් ජලයේ වැඩිපුර ඇති පෝෂක උරාගැනීම සිදු වේ. එමගින් ජලයේ ඇති ඇල්ගී ප්‍රමාණය අඩු වී ජලය පවිත්‍ර වීම, දුර්ගන්ධය පහව යාම, ජලය මත යැපෙන ජීවින් සඳහා වාසස්ථාන සැපයෙමින් පාරිසරික සමබරතාවයක් පවත්වාගෙන යාම සිදු වේ.

ජලය මතුපිට අලංකරණය ඉන් ලැබෙන තවත් ප්‍රතිලාභයකි.මැසි මඳුරු උවදුර හේතුවෙන් ඇතිවන ලෙඩ රෝග පාලනය සඳහා වක්‍ර මෙහෙවරක් මෙමගින් අපේක්ෂා කරන අතර අදාළ ජල ප්‍රදේශය තුළ මත්ස්‍ය ඝණත්වය ඉහළ නැංවීම වැනි ප්‍රතිලාභ රැසක් ඉතා සුළු පිරිවැයකින් ළඟා කර ගත හැකි බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති එම්.ආර්.ඩබ්.ඩී. සොයිසා මහතා පෙන්වා දෙයි.

READ:   හැකි ඉක්මනින් රට ස්ථාවර විය යූතුයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්