Tuesday, April 21, 2026
Homeවිශේෂාංගහැංගි හැංගී ලෝකෙට අභියෝග කරන උතුරු කොරියානු නායකයාගේ දේශපාලන ජීවිතයේ ඇතුළාන්තය.

හැංගි හැංගී ලෝකෙට අභියෝග කරන උතුරු කොරියානු නායකයාගේ දේශපාලන ජීවිතයේ ඇතුළාන්තය.

මීට වසර දහයකට පෙර සිය පියා වන කිම් ජොං ඉල්ගේ අභාවයත් සමඟ උතුරු කොරියාවේ නායකයා බවට පත් වෙද්දී කිම් ජොං උන් වසර 30ක තරුණයෙකි. ඊයේ වන විට ඔහු උතුරු කොරියාවේ නායකත්වයට පත්වී වසර 10 සම්පූර්ණ වෙද්දී ඔහු අන්තර්ජාතික වශයෙන් කැපී පෙනෙන රාජ්‍ය නායකයෙකි. දැඩි ප්‍රතිපත්තිමය රාමුවක් තුළ උතුරු කොරියාවේ රාජ්‍ය පාලනය ගෙන යන කිම් ජොං අමෙරිකාව ඇතුළු ලොව පුරා ප්‍රබල රටවලට දැඩි අභියෝගයකි. අසල්වාසී දකුණු කොරියාවට ඔහු පස මිතුරෙකි. ස්විට්සර්ලන්තයේ අධ්‍යාපනය ලැබූ මේ තරුණ නායකයා උතුරු කොරියාවේ පාලකයා ලෙස පත් වීමෙන් පසු ලෝක රාජ්‍ය නායකයන් සිතුවේ ඔහු ප්‍රතිසංස්කරණ මාවතක් තෝරා ගනු ඇති බවය. සෙසු රටවලින් හුදෙකලා වීම, දකුණු කොරියාව සමඟ දශක ගණනාවක් පුරා ඇදී ගිය යුද්ධය, මිසයිල අත්හදා බැලීම් ආදි කරුණු කාරණාවලට වඩා ඔහු සිය ජනතාවට වඩාත් ප්‍රයෝජනවත් පියවර රැසක් ගනු ඇතැයි අනාවැකි පළ විය. එහෙත් සිදු වූයේ ඊට ප්‍රතිවිරුද්ධ දේවල්ය. ලොව වඩාත්ම හුදෙකලා රාජ්‍යය බවට පත්වී තිබූ උතුරු කොරියාව තව දුරටත් ඒ අයුරින්ම රඳවා තබා ගැනීමටත්, බලය සඳහා ඔහුගේ තිබූ අසීමිත තණ්හාවත් නිසා අදටත් උතුරු කොරියාව යනු ලොව වඩාත්ම භයානක සහ දැඩි මතධාරී රාජ්‍ය පාලනයක් සහිත රාජ්‍යයකි. තේරුම් ගැනීමට අපහසු චරිත ලක්ෂණ ඇති තරුණයකු විසින් උතුරු කොරියාව තව දුරටත් සිය කැමැත්තට අනුව පාලනය කරමින් සිටින අතර, බලය සඳහා ස්වභාවික සහජ බුද්ධිය උපරිමයෙන් භාවිත කරමින් වසර 10ක් පුරා ඔහු සිය ජනතාව අතර අසීමිත ගෞරවයක් එක ලෙස රඳවා ගැනීමට සමත්වීම පුදුමාකාරය.

බටහිර රටවලට උමතු නායකයකු වූවත් කිම් ජොං උන් උතුරු කොරියාවට නම් වීරයෙකි. ප්‍රසිද්ධියට අකමැති මේ තරුණයාගේ පෞද්ගලික ජීවිතය එහෙම පිටින්ම ගුප්ත ස්වරූපයක් උසුලයි. වැඩි උසක් නැති, ස්ථුල දේහධාරී කිම්ගේ හිසකේ විලාසිතාව අන්තර්ජාතික රාජ්‍ය නායකයන්ට අනුව ඉතා සංකරය. එය රාජ්‍ය නායකයකුට කොහෙත්ම ඔබින විලාසිතාවක් ද නොවන බවට විචේචන පිට විවේචන එල්ල වූයේ වරක් දෙවරක් නොවේ. දඩබ්බර, කිසිදු වගකීමක් දැරිය නොහැකි මේ තරුණයා උතුරු කොරියාවේ ජනතාව සෙල්ලමකට ගෙන ඇතැයි ද බටහිර රටවල්වල නායකයෝ විවේචනය කළහ. එහෙත් අදටත් උතුරු කොරියාවට නම් කිම් ජොං උන් යනු ඔවුන්ගේ එකම ගැලවුම්කරුය.

READ:   මේජර් ජෙනරාල් විජය විමලරත්න 31 වන ගුණ සැමරුම සැමරේ..

න්‍යාෂ්ටික අවි, මිසයිල අත්හදා බැලීම්, ආයුධ පරීක්ෂාව වේගවත් කිරීම වැනි සිදුවීම් නිසා ලෝක න්‍යෂ්ටික යුද්ධයක භීතිය අවුස්සමින් වරින් වර ඉස්මතු වන කිම්ගේ ගති පැවැතුම් යුද සෙනෙවියකුට සරිලන අන්දමෙන් හැඩ ගැසුණකි. ඔහු නිතර කියන්නේ සිය ජනතාව ආදර්ශයට ගත යුතු එකම රාජ්‍ය නායකයා තමා බවය. ඉන් නොනැවතී ඔහු ඊට අනුබලය සපයන නීතිරීති මාලාවක් ද පැනැවීමට කටයුතු කර තිබේ. ඉන් ඇතැම් නීතිරීති එරට වැඩිහිටියන්ගේ පවා නළල්තල රැළි ගන්වන්නකි.

ඔහු වරක් එරට ජනතාවට අපූරු නීතියක් පැනවූයේය. එය නම් එරට සියලු පිරිමින් තමාගේ හිසකේ විලාසිතාව අනුගමනය කළ යුතු බවය. එය අනිවාර්ය නීතියකි. එරට කාන්තාවන්ට නම් දිගු වරලසක් තිබිය යුතුමය. සිය හිසකේ කොටට කැපීමට අවසර දී ඇත්තේ අවිවාහක තරුණියන්ට පමණි. ඉතින් ඔබ උතුරු කොරියානු ජාතිකයකු දුටු විට නිතැතින්ම සිහිපත් වන්නේ කිම් ජොං උන් විය යුතුමය. ‘චබී’ මුහුණත්, පියකරු සිනහවත් නිසා ඔහු ගැන නොදන්නා අය සිතන්නේ මේ හුරුබුහුටි තරුණයා වගකීම් රහිත සෙල්ලක්කාරයකු බවටය. එමෙන්ම ඉතා නම්‍යශීලී සහ කාන්තාවන්ගේ ආකර්ණණයට ලක්වූ චරිතයක් බවටය. එහෙත් බාහිර ස්වරූපය අතින් එසේ දිස්වූවත් චරිත ස්වභාවය අතින් ඔහුට එවැනි ගතිගුණ කිසිවක්ම නැත.

ඔහු මුරණ්ඩුය. සිය මතයට අනුව කටයුතු කරන්නෙකි. රාජ්‍ය පාලනයේදී පවා ඔහුට උපදෙස් දීමට හෝ කරුණු පැහැදිලි කරදීමට ඉදිරිපත් වීමට කිසිවකු එරට නැත. ලොව පුරා බොහෝ රාජ්‍ය නායකයන් සිය බිරින්ඳෑවරුන් හමුවේ නම්‍යශීලී අයුරින් කටයුතු කරනු ලැබුවත් කිම් ජොං ඒ අතින් වෙනස්ය. ඔහුගේ බිරියට පවා නීතිරීති කන්දරාවකි. ඇගේ නම රී සොල්ය. ඇගේ ජීවිතයත්, කිම්ගේ මෙන්ම අතිශය ගුප්ත එකකි. ඇගේ පවුල් පසුබිම හෝ පෞද්ගලික තොරතුරු කිසිවකු නිශ්චිතව දන්නේ නැත.

කිසිවකුට අවනත නොවන කිම් යම් තරමකට හෝ අවනත වන්නේ ඔහුගේ බාල සොයුරිය කිම් යෝ ජොංට පමණි. ඇය මේ වන විට 32 හැවිරිදි වියේ පසුවන්නීය. අන්තර්ජාතික දේශපාලනය තුළ උතුරු කොරියාවේ භූමිකාව ඉස්මතු කිරීමත්, සිය සොයුරාගේ රාජ්‍ය පාලනයේ සෙවණැල්ල බවට පත්වීමත් හැරුණු විට මේ තරුණියට වෙන කාර්යයක් පවරා නැත. කිම්ගේ ඇතැම් දේශපාලන තීන්දු තීරණ කෙරෙහි බලපෑම් කළ හැකි එකම පුද්ගලයා නිසාම කිම් යෝ ජොං ද උතුරු කොරියාවේ අසීමිත බලයකට හිමිකම් කියන්නීය.

READ:   ජගත් ආදීවාසී උත්සවයේ ඔබ නොදුටු දසුන්…

අවි ආයුධ කෙරෙහි ආශක්ත කිම් ජොං එරට අනාගත ‍ෙජනරාල් වීමට සිහින මැවුවේ කුඩා වියේ සිටමය. ඔහුගේ අට වැනි උපන් දිනය දා ඔහුට ලැබුණු බව කියන සම්පූර්ණ නිල ලාංඡන සහිත ‍ෙජනරාල් නිල ඇඳුමෙන් සැරසී සිටින ඔහුගේ කුඩා වියේ ඡායාරූප තවමත් එරට ජනාධිපති මන්දිරයේ එල්ලා තිබේ. කුඩා වියේ සිටම ඔහුට ආචාර කරන ලෙස හමුදා නිලධාරීන්ට උපදෙස් දී තිබූ බවත් කියැවේ. එනිසාම ඔහුගේ බල පරාක්‍රමය උතුරු කොරියාවේ ව්‍යාප්ත වූයේ ළමා වියේ සිටමය.

කිම් ජොං උන් ගැන මෙතරම් කරුණු කාරණා අනාවරණය වීමත් එක අතකින් විස්මයජනකය. හුදෙකලා රාජ්‍යයක දැඩි මතධාරී නායකයකුගේ ජීවන තොරතුරු දැනගැනීමට ලැබෙන්නේ කලාතුරකිනි. ඇරත් සමාජ මාධ්‍ය ජාලා එහෙම පිටින්ම වාරණය කළ, රාජ්‍ය නායකයාට විරුද්ධව වදනක් හෝ නොලියැවෙන පුවත්පත් හා රූපවාහිනි නාලිකා ඇති රටක් ලෙස උතුරු කොරියාවේ නායකයා ගැන දැන ගැනීමේ කුතුහලය ලොව පුරා ජනතාවට පමණක් නොව රාජ්‍ය නායකයන්ට ද ඇත්තේ බලවත් ආසාවකි. කවුරුත් දන්නේ කිම් ජොං ගේ ජීවිතයේ අඩක් පමණි. ඉතිරි අඩ දන්නේ ඔහුම පමණි. යම්කිසි බලවේගයකින් ඝාතනයට ලක් නොවන්නේ නම් තවත් වසර 10කට පසු ඔහු සිය රාජ්‍ය පාලනයේ විසි වැනි වසර සම්පූර්ණ කරනු ඇත. එහෙත් එදිනට පවා සටහන් කරන්නට ඉතිරිව ඇත්තේ අද සටහන් කළ මේ තොරතුරුම පමණක් විය හැකිය. ඔහු එතරම්ම ගුප්ත චරිතයකි.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්