විශේෂාංග

ජාත්‍යන්තර අයිස් නිර්මාණ තරග ජයගත් මූර්ති ශිල්පී අසංග

BBC

වසර 28ක් පුරා අයිස් මූර්ති ශිල්පයේ නිරත වන අසංග අමරසිංහ මේ වන විට දිවි ගෙවන්නේ දකුණු ලන්ඩනයේ යි.

“ජාත්‍යන්තර තරගවලට ගියාම මගෙන් බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක් තමයි ශ්‍රී ලාංකිකයෙක් නැත්නම් දකුණු ආසියාතිකයෙක් වෙලා අයිස් නිර්මාණ ශිල්පයට යොමු වුණේ කොහොමද කියලා,” අසංග සිය කතාව අරඹමින් පැවසීය.

එංගලන්තයේ ඉතා සුන්දර පරිසරයක පිහිටි ‘techne Ice’ ලෙස නම් කර ඇති ඔහුගේ අයිස් නිර්මාණ කුටිය ඉදිරිපිට සිට සිය මූර්ති නිර්මාණ දිවියේ කඩඉම්, ජයග්‍රහණ මෙන්ම බාධක ගැන ද දීර්ඝ විස්තරයක් මා සමග පැවසීය.

කුරුණෑගල ඉපිද හැදී වැඩුණු අසංගගේ සිත කුඩා කළ සිටම යොමු වී ඇත්තේ මූර්ති නිර්මාණකරණයටය. පාසල් කාලයෙන් පසු ආහාර ආශ්‍රිත මූර්ති කලාවේ නියැළුන ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල්වල රැකියාවේ නිරත වී තිබේ.
මම මුලදී විවිධ ආහාරවලින් මූර්ති නිර්මාණ කරන්න ගත්තා. ලංකාවේ රැකියාව කළාට පස්සේ විශාල මගී නෞකාවල, ඊට පස්සේ මැද පෙරදිග ඇතුළු රටවල් කීපයක ඒ අංශයෙන් රැකියාවේ නිරත වුණා. පසුව සම්ප්‍රදායෙන් ඔබ්බට හිතන්න පටන් ගත්තා. අයිස්වලින් නිර්මාණ කිරීම ආරම්භ කළා.”

“මට මූර්ති ශිල්පයට ගුරුවරයෙක් හිටියේ නැහැ.”

ජාත්‍යන්තර අයිස් මූර්ති නිර්මාණ තරගවලින් ජයග්‍රහණ රාශියක් ලබා ඇති අසංගට 2019 වසරේ ඇලස්කාවේ පැවැති තරගය විනිශ්චය කිරීමට අරාධනා ලැබිණි.
“ඇලස්කාවේ ජාත්‍යන්තර අයිස් නිර්මාණ තරගයක විනිශ්චයකරුවෙකු විදිහට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණු පළමු දකුණු ආසියාතිකයා මමයි. ඒ අවස්ථාව මට විශාල ජයග්‍රහණයක්. ඒ හැම තැනකටම මම සහභාගී වුණේ ශ්‍රී ලාංකිකයෙක් විදිහට. මගේ නිර්මාණ තරගවලට ඉදිරිපත් කරද්දීත් ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනවා.”

‘ලොව සිටින හොඳම අයිස් මූර්ති ශිල්පීන්ගෙන් කෙනෙකු’ ලෙස විදෙස් මාධ්‍ය අසංගව හඳුන්වා දී තිබේ. එක්සත් රාජධානියේ රාජකීය උත්සව බොහොමයකට ඔහු සිය අයිස් නිර්මාණ ඉදිරිපත් කර ඇති අතර, 2012 දී රැජිනගේ දියමන්ති ජුබිලිය සැමරුම් උත්සවය සහ විලියම් කුමරු සහ කේට් ආදිපාදවරියගේ විවාහ උත්සවය වෙනුවෙන් තැනූ මූර්ති ඒ අතරින් විශේෂයි.

කැනඩාව, ඉන්දියාව, මැද පෙරදිග, රුසියාව, ඇමරිකාව ඇතුළු රටවල් රාශියක රජයන් මෙන්ම පෞද්ගලික ආයතන, විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන් මේ වන විට අසංකගේ නිර්මාණ සිය උත්සව සහ සැමරුම් සඳහා ලබා ගෙන තිබේ.

“එල්ටන් ජෝන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ට මම නිර්මාණ සිදු කළා. මෑතක දී ග්‍රේටා තන්බර්ග්ව අයිස්වලින් නිර්මාණය කළා. ඒ වගේම සම්පූර්ණයෙන් අයිස්වලින් අවන්හලක් සහ තැබෑරුමක් ද හැදුවා.”

“මෙහි තියෙන විශේෂත්වය තමයි මම වැඩකරන්නේ සොබාදහමේ තිබෙන වඩාත්ම විචල්‍ය ද්‍රව්‍යයක් සමඟ. මගේ නිර්මාණ කරද්දී දෝෂ ඇතිවෙන්න ඉඩක් නැහැ. ඒ වගේම කාලය තමයි වැදගත්ම දේ. මගේ අයිස් නිර්මාණ කුටියේ උෂ්ණත්වය අවම වශයෙන් සෙල්සියස් අංශක 15ට හැමවෙලාවෙම තියෙනවා. විශේෂ ඇඳුම් කට්ටලයක් ඇඳගෙන තමයි නිර්මාණකරණයේ යෙදෙන්නේ.”

“අයිස් නිර්මාණ කිරීම ඇත්තෙන්ම ලොකු අභියෝගයක්. ඒකට උදාහරණ තමයි රුසියාවේ කාලගුණය සෙල්සියස් අංශක සෘණ 40 දී පැවති ලෝක අයිස් මූර්ති තරඟයෙන් මම තෙවෙනි ස්ථානය ලබා ගැනීම වගේම, ඉන්දියාවේ නවදිල්ලියේ උෂ්ණත්වය 40 දී මහ විශාල අයිස් මාලිගාවක් නිර්මාණය කිරීම.”

ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණියගේ විවාහ උත්සවයට මීටර 8ක් උස මීටර 18ක් දිග අයිස් මාලිගාවක් තැනීම සිය නිර්මාණ දිවිය තුළ සිදුකළ බරපතලම රාජකාරියක් බව අසංග පැවසීය.

අයිස් නිර්මාණ ගබඩා කිරීමට ශීත කුටියක් මෙන්ම, ප්‍රවාහනය සඳහා ‘අයිස් වෑන්’ භාවිත කළ යුතුය. ඒ සියල්ල විවිධ රටවල සෞඛ්‍ය ආරක්‍ෂක නීති රීතිවලට අනුකූලව සිදුකළ යුතු බව ඔහු පැවසීය.

කතා බහ අතරතුර ඔහුගේ අයිස් කුටිය තුළ මිනිත්තු විස්සක් ඇතුළත සිංහ මුහුණක් නිර්මාණය කිරීමට ද අසංග කටයුතු කළේය. නමුත් විශේෂ ඇඳුමක් ඇඟලාගෙන සිටියත් මා හට සෘණ 15ක උෂ්ණත්වයකින් යුතු අයිස් කුටියේ ඒ මිනිත්තු විස්ස පවා රැඳී සිටීම ඉතා අපහසු විය. එම කුටිය පුරා විශාල අයිස් කුට්ටි සහ මූර්ති ශිල්පය සඳහා අවශ්‍යය විවිධ උපකරණ දක්නට ලැබිණි.

ඇතැම් නිර්මාණ දෑතින් තනන අතර, තවත් ඒවා විශේෂ යන්ත්‍රයක් ආධාරයෙන් නිමවයි. නමුත් කෙතරම් දියුණු යන්ත්‍ර තිබුණ ද නිර්මාණය අවසන් කිරීම දෑතින් සිදුකළ යුතු බව අසංග පැවසීය.

“මගේ නිර්මාණ සදාකල් පවතින්නේ නැහැ. එයයි මේ නිර්මාණකරණයේ විශේෂත්වය. ඒ නිසාම මට නිතර වෙනස් ආකාරයේ නිර්මාණ සිදු කිරීමේ අවස්ථා ලැබෙනවා. මට උපතින් ලැබුණු හැකියාවේ වානිජමය වටිනාකම මම හඳුනාගෙන ජීවිතය ඉදිරියට අරගෙන යනවා.”

“මේ ගමනේ දී බාධක තිබුණා, ඒ වගේම අභියෝග පිරිලා. නමුත් ලෝකය ජයගන්න නම් අපිට වෙනස් විදිහට හිතන්නම වෙනවා. කොරෝනාවෛරස කාලයේ අපහසුතා තියෙනවා තමයි, නමුත් මේ තමයි හොඳම අවස්ථාව තමන්ගේ හැකියාවන් හඳුනාගන්න, ඒ වගේම සාම්ප්‍රදායී රාමුවෙන් එහාට හිතන්න, ” අසංග සිය කතාව නිම කරමින් පැවසීය.

අයිස් නිර්මාණ කලාව හැදෑරීමට විශේෂ පාසල් තවමත් නොමැති අතර, මෙය වඩාත් ප්‍රචලිත වන්නේ රුසියාව, ඇමරිකාව සහ චීනය යන රටවලය. වසරක් පුරා පැවැත්වෙන චීනයේ ‘හාබින්’ අයිස් උත්සවයේ දී අයිස්වලින් විශාල නගර පවා නිර්මාණය කර තිබිණි.

Courtesy : BBC

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago