“අසනීප වෙලා ලෙඩ ඇඳට වැටුණේ නැත්නම් ඕනෑම දක්ෂ වේදීකා රංගන ශිල්පියෙක් හැමදාමත් වැඩ කරනවා” නිළි රත්නා ලාලිනි ජයකොඩි වරක් එසේ පැවසුවාය.
අප කතා කරන්නට යන්නේ ඇය ගැන නොව ජීවීතයෙන් සමුගන්නා තුරුම දශක හතරකට වැඩි කාලයක් කලාව අත්නොහැර ගිය ඇයගේ ආදරණීය ස්වාමියා වූ, වේදිකාවේ ස්වර්ණමය සලකුණක් වූ නොබෝදා අප අතරින් සදහටම සමුගෙන ගිය රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් ගැනය.
වර්ෂ 1959 ජුනි මස 20 වැනි දින කොළඹ දී උපත ලබන සම්පත් තෙන්නකෝන් කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදී සිසුවෙකි. පාසල් වේදීකාව පළපුරුදු තැනක් වූ සම්පත්ට රංගනයට ආසාව ඇති කරන්නේ නීල් අලස්ගේ රංගනය ය. පසුව නීල් අලස් චරිත නිරූපණය කළ ‘අඹු සැමියෝ’ වේදිකා නාට්‍යයේ ඔහුගේ අඩුව පුරවන්නට සම්පත්ට හැකි වුණි.
දයාසේන රටගෙදරගේ ගුරුසීල වේදිකා නාට්‍යයේ සර්කස් කණ්ඩායමක නායකයෙකුගේ චරිතයෙන් වේදිකාවට එන සම්පත් තෙන්නකෝන් පුත්‍ර සමාගම, සුබ සැන්දෑවක්, නුඹ විතරක් තලඑළලුයි වැනි නාට්‍ය ඔස්සේ සිය ප්‍රතිභාව පෙන්වා සම්මානයට පාත්‍රවිය. වේදිකා නාට්‍ය 50කට වැඩි සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දුන් සම්පත් තෙන්නකෝන්, සිසිර කොතලාවල අධ්‍යක්ෂණය කළ මොරගිරි කන්ද ළමා ටෙලිනාට්‍යයෙන් පුංචි තිරයට අවතීර්ණ විය. විජය ධර්ම ශ්‍රී ගේ භාග්‍යා, රන්දොරටුව, රිදී රේඛා ටෙලි නාට්‍යවලත් සුනිල් රත්නායකගේ පහන් වැටක්, බන්දුල විතානගේ ගේ බුමුතුරුණු ටෙලිනාට්‍යයේ ත් කැමරාව ඉදිරිපිට තම රංගන ප්‍රතිභාව පෙන්වූ සම්පත් ටෙලිනාට්‍ය 20කට එහා ගිය සංඛ්‍යාවක රඟපා ඇත. තෙන්නකෝන් අවසන් වරට රඟපෑවේ හිරු නාළිකාවේ විකාශය වූ දිවිතුරා ටෙලිනාට්‍යයේය.
ලුම්බිණි රඟමඬලේ වේදීකා නාට්‍ය බැලීම පුරුද්දක් කර ගත් සම්පත් තෙන්නකෝන් රංගන ශිල්පියෙකු වීමේ හීනය ගැන වරක් මෙසේ සඳහන් කරයි.
‘ දක්ෂ රංගන ශිල්පියෙක් වෙන්න පුදුමාකාර කැපකිරීමක් කළා මම. ඒ වෙනුවෙන් වින්ද දුක් කන්දරාව දන්නේ මම විතරයි. හැබැයි ඒ සියල්ල මම එදා සතුටු සිතින් විද ගත්තා. මේ නිසා තමයි රංගන ජීවිතයේ මට දිගු ගමනක් එන්න පුළුවන් වුණේ.’

සිය කාර්යබහුලත්වය නිසා දේවිකා මිහිරාණි 1985 දී සුබ සැන්දෑවෙන් ඉවත්වෙද්දි ඒ අඩුව පුරවන්නට ආවේ රත්නා ලාලනීය. ඒ ගැන අන් කිසිවෙකුටත් වඩා සතුටු වූයේ සම්පත් තෙන්නකෝන් ය. ඒ තමන්ට තුන්මංසලේදී මුණගැසුණු මේ තරුණ නිළිය සුබ සැන්දෑවෙදී නිතර නිතර මුණ ගැසුණු නිසාය.
එක් දිනක් සම්පත් ‘රත්නාට කවුරුත් ඉන්නවාද?’ යැයි රත්නාගෙන් අසනවිට ඇය ‘නැතැයි’ කීවාය. ඇගේ කැමැත්ත ගැන රත්නා මෙසේ පවසන්නීය. ‘ මම වගේම ඔහුත් බොරු ලෝකයක ජීවත් නොවන නිසා මම කැමැති වුණා.’ මේ සම්බන්ධයට ජයලත් මනෝරත්නයන්ගෙන්ද නොමද උපකාර ලැබිණි. ඒ උපකාරයන් හි තරම කෙසේද යත් ඔහුගේ නාට්‍ය තුළින් දැන හැඳීනගත් මේ දෙදෙනාගේ විවාහයේ සාක්කිය දරන්නේද මනෝරත්නයන්මය.

සිය එකම පුතු සමඟ ජීවිතය ඉදිරියට යන ගමනේදී සම්පත් රත්නාගේ ප්‍රථම ප්‍රේමය වූ කලාව කිසිවිටෙකත් අත් නොහළ කලාවේ බර හිසට අරන් වැඩ කළ යුවළක් යන්නට හොඳම සාක්ෂිය නම් දෙදෙනාගේ රංගන එක්කාසුවට වසර තිහ පිරීම නිමිත්තෙන් 2013 දෙසැම්බර් 17 වැනි දින කොළඹ නවනගර ශාලාවේ එළි දැක්වුණු ‘අභිනයන’නාට්‍ය දැක්මයි. විදේශයන්හි නාට්‍ය වේදීකාගත කිරීම සඳහා නිතර නිතර විදේශ රටවල සංචාරයට ගිය සම්පත්ට රිදී තිරය මග හැරුණාදෝ යන සැකයද ඇත.
උපුටා ගැනීම – සරසවිය පුවත්පතෙන්



