දීර්ඝ කාලයක් මුළුල්ලේ ම ශ්‍රමය සැපයීමට විදෙස්ගත වන පුහුණු නුපුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් යම් ප්‍රතිශතයක් එතෙරදී දරුණු වධහිංසාවලට සහ අසාධාරණකම්වලට මුහුණ පාමින් සිටීම, රටක් වශයෙන් අප අත්දකින ඛේදනීය ම තත්ත්වයකි. මෙය වූ කලී නැවත නැවතත් අවබෝධයෙන් හා වගකීමෙන් බලධාරීන්ගේ විමසුම් ඇස යොමුවිය යුතු කාරණයකි. විදෙස්ගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් මෙරට රාජ්‍ය ප්‍රතිපත්තිය කෙබඳු වූවක් ද? එහි සිදු විය යුතු සංශෝධන සහ නවීකරණ කවරේ ද? යන්න පිළිබඳ රුහුණු විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ හිටපු අධ්‍යයන අංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජේසිරි ගමගේ සමඟින් සිදු කෙරුණු සංවාදයයි මේ.

රාජ්‍ය ප්‍රතිපත්තිය යනු කුමක්ද?
රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ කෙටියෙන් පහදන්නේ නම්, එය වූකලී රාජ්‍යයක් අනාගතයේදී තමන්ගේ ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන්නේ මොනවාද යන්න සම්බන්ධයෙන් සිදු කෙරෙන ප්‍රකාශනයයි. එහිදී අනාගතයේදී රාජ්‍ය, ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන විවිධාකාර දේශපාලන, සමාජීය, ආර්ථික පැතිකඩයන් තිබෙනවා. ඒ පිළිබඳ පැහැදිලි කිරීමේදී ජාතික ආශාවන් අත්පත් කරගන්නේ ඉතාම වැදගත් ස්ථානයක්. රටක ජනතාවට ආණ්ඩුවෙන් ලබාදීමට බලාපොරොත්තු වන ආර්ථික සමාජ දේශපාලන කරුණු රටේ ජාතික ආශාවන් සමඟ ඒකාබද්ධකොට එය ප්‍රකාශයට පත් කරනවා, රාජ්‍ය ප්‍රතිපත්තිය වශයෙන්. එය එක්තරා ආකාරයකට අනාගත ලියවිල්ලක්. අනාගත ප්‍රකාශනයක් නැතහොත් අනාගත සහතිකයක් ලෙස හඳුනාගත හැකියි.
රාජ්‍ය ප්‍රතිපත්ති ආණ්ඩු පෙරළියත් සමග වෙනස් විය යුතුද?
රාජ්‍ය ප්‍රතිපත්තියක් නිතර වෙනස් කළ යුතු නැහැ. ආණ්ඩු වෙනස් විය හැකියි. එහෙත් රාජ්‍ය ප්‍රතිපත්තියක් යනු අඛණ්ඩ ක්‍රියාදාමයක්. එයින් අදහස් වෙන්නෙ නැහැ කිසිසේත්ම වෙනස් නොවිය යුතු බව. වෙනස් විය යුතු තැන් තිබෙනවා කාලීනව. එහෙත් ලංකාව ද ඇතුළු තුන්වෙනි ලෝකයේ රාජ්‍යයන්වල ලක්ෂණයක් ලෙස රාජ්‍ය ප්‍රතිපත්ති ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වනවා. එය එසේ නොවිය යුතුයි. අඛණ්ඩ ක්‍රියාදාමයක් බවට පත්විය යුතුයි. කාලීනව සංශෝධන විය යුතුයි. තුලනාත්මක දේශපාලන විද්‍යාවේ දේශපාලන චින්තකයකු වන හැරල්ඩ් ලැස්වේල් ට අනුව රාජ්‍ය ප්‍රතිපත්තිය යනු රටක ඉතාම වැදගත් මූලධර්මයක්. රාජ්‍ය ප්‍රතිපත්තිය ජනතාවගේ අපේක්ෂාවන්, අභිමතාර්ථයන්, සාරධර්ම අඩංගු ලියවිල්ලක් බවයි ඔහුගේ අදහස. සරලව ම ප්‍රකාශ කළහොත් රාජ්‍ය ප්‍රතිපත්ති යනු අනාගතය සම්බන්ධයෙන් ආණ්ඩු විසින් කරන්නේ කුමක්ද? ජනතාවට ලබාදෙන්නේ මොනවාද? යන්න පිළිබඳව පැහැදිලි කරන ලියවිල්ලක්.බොහෝ දේශපාලනවිද්‍යා චින්තනයන්ට මුලපිරුවා සේම ඇමරිකා එක්සත් ජනපදයෙන්, යුරෝපා රාජ්‍ය ක්‍රමය තුළින් පැනනඟින මේ ක්‍රියාදාමයටත් ආරම්භයක් සපයනවා. රාජ්‍යයක රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ක්‍රියාධරයින් විශේෂයෙන් කාණ්ඩ තුනක් යටතේ හඳුනාගන්න පුළුවන්. ඒ දේශපාලන අධිකාරිය, සිවිල් සේවාවන් නැතහොත් නිලධාරි පංතිය සහ අධිකරණය වශයෙන්. විශේෂයෙන්ම අධිකරණය මඟින් වඩා යහපත් ආකාරයට මේවා විශ්ලේෂණය කරමින් ක්‍රියාත්මක කිරීම සඳහා සහය ලබාදෙනවා. මේ කාණ්ඩ සියල්ල රටක නිල ව්‍යූහයන්. මීට අමතරව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නොනිල ව්‍යූහයන් ද තිබෙනවා. නොනිල ව්‍යූහයන් යනු සාමාන්‍යයෙන් සමාජය තුළ ක්‍රියාත්මක වන බලවේගයන් ය. එනම් බලපෑම් කණ්ඩායම් හා දේශපාලන පක්ෂ, සමාජ හා සිවිල් සංවිධාන ක්‍රියාත්මක වෙමින් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බලපෑම් කරනවා.
විදෙස්ගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට රාජ්‍ය ප්‍රතිපත්තියක් තිබෙනවාද? එසේ නම් එය කෙබඳු වූවක්ද?
1977 ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් පසු ශ්‍රමිකයන් විදේශගත වීම ආරම්භ වුණා. ලංකාවේ ශ්‍රමිකයන් විදේශ ගත වීම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ පුහුණු ශ්‍රමිකයින් හා නුපුහුණු ශ්‍රමිකයින් වශයෙන්. ශ්‍රී ලංකාව තුළ මෙය 1977දී ආරම්භ වන්නේ නුපුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීමෙන්. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුවේ සිට යම් ආකාරයකින් විදෙස්ගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ප්‍රතිපත්තියක් පැවතුණා. එහෙත් යුරෝපීය රාජ්‍යයන්ට සාපේක්ෂව අපට ඒ සම්බන්ධයෙන් පැවතියේ එතරම් පොහොසත් විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන රාජ්‍ය ප්‍රතිපත්තියක් නොවෙයි. 2000 වර්ෂය පමණ වන විට රාජ්‍ය ප්‍රතිපත්තියේ නුපුහුණු ශ්‍රමිකයන් සම්බන්ධයෙන් යම් යම් සංවිධානාත්මක මට්ටමක් දැකගත හැකි වුණා. නිදසුනක් ලෙස 2005දී පමණ ශ්‍රී ලංකා විදේශ කාර්යාංශයත් විදේශ සම්බන්ධතා අංශයත් ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තියට සම්බන්ධ කරනවා මේ ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමේදී පිළිපැදිය යුතු අනිවාර්ය කොන්දේසි දෙකක්. ඉන් එකක් නම්, වයස සම්බන්ධ සීමාවයි. එනම් වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන් ශ්‍රමය සැපයීම සඳහා විදෙස්ගත වීම තහනම් කරන ප්‍රතිපත්තියක් ගෙන එනවා. දෙවැන්න නම් විදෙස්ගත වන කාන්තාවන්ගේ දරුවන්ට අත්වන ඉරණම පිළිබඳ ගැටලුව සාකච්ඡාකොට, වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින කාන්තාවන් විදෙස්ගත වීම තහනම් කෙරෙනවා. මේ අනුව ශ්‍රී ලංකාවේ යම් ආකාරයකින් විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් තිබෙනවා. එහෙත් ගැටලුව තිබෙන්නේ එම ප්‍රතිපත්තිය හැමවිට ම නිසි ලෙස ක්‍රියාත්මක වනවාද යන කාරණයයි.
විදෙස්ගත ශ්‍රමිකයන් රැකගැනීම සම්බන්ධයෙන් අපට පවතින ප්‍රතිපත්ති ප්‍රමාණවත්ද?
ප්‍රමාණවත් නොවන බව වර්තමානයේ ඒ සම්බන්ධයෙන් ඇති වන ගැටලුවලින් හොඳින් ම පෙන්නුම් කෙරෙනවා. ප්‍රමාණවත් නොවීම වගේ ම තවත් ගැටලුවක් පෙනෙන්නට තිබෙනවා. එනම් විදේශ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට මූලික වන තානාපති සේවා ශ්‍රී ලංකාවේ නිරන්තරයෙන් ම විවේචනයට ලක්වන කාරණයක්. තානාපතිවරයාගේ කාර්යභාරය මෙලෙස විවේචනයට ලක්වීමට ප්‍රධාන කාරණයක් වන්නේ පත්කිරීමේ ක්‍රමවේදයයි. මේ පත්කිරීමේ ක්‍රමවේදය තුළ ශ්‍රී ලංකාවේ නිරන්තරයෙන් දක්නට ලැබෙන දුර්වලතාවක් වන්නේ සුදුස්සන් වෙනුවට දේශපාලන ග්‍රහණයට ලක්වූවන් පත්කර ගැනීමයි. තානාපතිවරයා යනු ඉතාම වැදගත් භූමිකාවක් නිරූපණය කරන්නෙක්. තම රාජ්‍ය විදේශයකදී නියෝජනය කරන දෙවන රාජ්‍ය නායකයා වශයෙන් ඔහුව පිළිගන්නවා. එහෙත් ලංකාවේ පත්කිරීමේ ක්‍රියාදාමය තුළ 1977න් පසු බලයට පත් වූ සෑම ආණ්ඩුවක් ම අඩු වැඩි වශයෙන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් දුන් පුද්ගලයන් පත්කරගැනීමේ ගැටලුවට රටක් ලෙස අප මුහුණ පාමින් සිටිනවා. නිදසුනක් ලෙස බොහෝ විට රූප රාජිණියන්,විශ්‍රාමික හමුදා නිලධාරින් එසේ පත්කරගන්නා අතර ඔවුන්ට මේ භූමිකාව පිළිබඳ නිසි අවබෝධයක් නැහැ. මීට වඩා අවධානයෙන් අවබෝධයෙන් මේ පිළිබඳව කටයුතු නොකරන්නේ නම් අපට විදෙස්ගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ඉදිරියේදී මතුවන අභියෝග ජයගැනීමට හැකියාවක් නොමැති වනවා.
එසේ නම් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියට අනාගතයේදී එක්කරගත යුතු කාරණා කවරේද?
මෑතකදී පකිස්ථානයේදී සිදු වූ කාරණය පිළිබඳ සලකා බැලීමේදී රටක් ලෙස එයින් ද අප අත්දැකීම් ලබාගන්නවා. යම් ආකාරයකට අනාගත දැක්මක් ඇතිකරගන්නවා. විදෙස්ගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අනාගතයේ කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? යන්න පිළිබඳව අවබෝධයක් ලබාගන්නවා සේම මේ සම්බන්ධ ප්‍රතිපත්ති අනාගතයේ කෙසේ සකස් විය යුතුද? යන්න පිළිබඳව ද අවබෝධයක් ඇති කරගන්නවා. විදේශ අමාත්‍යංශය සහ කම්කරු අමාත්‍යංශය ඒකාබද්ධ ව මේ සම්බන්ධයෙන් වැදගත් අවධානයක් යොමු කළ යුතුයි. මන්ද මේ පිටරට යන්නේ බඩු භාණ්ඩ නොවෙයි, ඇටමස් ලේ නහරවලින් සැදුණු මිනිසුන්. විශේෂයෙන් ම ඔවුන් විදෙස්ගත වන්නේ දුගී භාවය හේතුවෙන්. මේ පිරිස සඳහා නිසි ආකාරයේ මාර්ගෝපදේශනයක්, ඒ ඒ රටවල සංස්කෘතිය, ජන සමාජය, භාෂාව සහ ඇගයීම් පිළිබඳව අවබෝධයක් ලබාදීම සේම තානාපති කාර්යාල සමඟ සබඳතා ඇති කරගැනීමේ ක්‍රමවේදයක් ඇති කිරීම අත්‍යවශ්‍යයි. තම මව් රාජ්‍යයෙන් යන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය සතුව නිරන්තරයෙන් ම සංඛ්‍යා දත්ත සහ තොරතුරු තිබිය යුතුයි. තාක්ෂණයේ දියුණුවෙන් උපරිම ප්‍රයෝජන ලබාගනිමින් මේ සඳහා නවීණ ක්‍රම අනුගමනය කිරීමේ හැකියාව ද පවතිනවා. එනිසා මේ සම්බන්ධයෙන් දැනට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි. යම් තැනක දුර්වලතාවක් තිබෙනවා නම් වහාම තම රාජ්‍ය අපහසුතාවට පත් නොකර අදාළ ශ්‍රමිකයන් ලංකාවට පෙරළා එවීමේ ක්‍රමවේදයකුත් ඇති කරගත යුතුයි. මන්ද ඇතැම් ශ්‍රමිකයන් විදෙස්ගත වූ පසු සිදු කරන්නේ නිශ්චිත කාර්යභාරය නොවෙයි. එවැනි දේ ගැනත් විශේෂ අවධානය යොමු කළ යුතුයි. එසේ ම 21 වන සියවසේ අභියෝගයන්ට මුහුණ දීමට නම් විදේශ අමාත්‍යංශය, තානාපති සේවා මීට වඩා ශක්තිමත් කොට, විදේශ ශ්‍රමිකයන් සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්තිය තව දුරටත් වර්ධනයකොට ක්‍රියාත්මක කළ යුතු වනවා.
ආසාධාරණයට ලක්වූ විදෙස්ගත ශ්‍රමිකයන්ට සාධාරණය ඉටු විය යුත්තේ කෙසේද?
සාධාරණය ඉටුවීමේ දැඩි අවශ්‍යතාවක් තිබුණත් මේවා නිසි ආකාරයෙන් කළමනාකරණයක් නොවන බවයි පෙනෙන්නට තිබෙන්නේ. රාජ්‍ය ප්‍රතිපත්තිවල දුර්වලතාවය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් පෙන්වන අකාර්යක්ෂමතාව මත විදෙස්ගත වන බොහෝ ශ්‍රමිකයන් දැඩි අසරණ භාවයට පත්වනවා. මේ රාජ්‍ය ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබෙනවා. වසර ගණනාවක සිට ම මැදපෙරදිග සේවය සඳහා පිටත්ව යන කාන්තාවන් දැඩි අසාධාරණකම් කෘෘර වධහිංසාවන්ට ලක්ව නැවත මව්රටට පැමිණෙන අවස්ථා පිළිබඳව මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබුණත් ටික දිනකින් ඒ සියලු සිදුවීම් යට යන්නේ ඔවුන්ට කිසිඳු ආකාරයක සාධාරණයක් සහනයක් නොලැබීමත් සමඟයි. මෙවැනි දේ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් හෝ පසු විපරමක් නොමැතිවීම විශාල ගැටලුවක්. ප්‍රතිපත්ති ගෙන ඒම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒවා ක්‍රියාත්මක කිරීම ද අත්‍යවශ්‍යයි. එහෙත් එය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවන බවක් පෙනෙන්නට තිබෙනවා. විදෙස්ගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වරින්වර අප ලබාගන්නා අත්දැකීම් මත මේ ප්‍රතිපත්ති සංශෝධනය විය යුතුයි. නවීකරණය විය යුතුයි. අසාධාරණයට ලක් ව නැවත මව්රටට එන ශ්‍රමිකයන්ට සේ ම විදේශයන්වලදී ම ඛේදනීය ලෙස ජීවිතක්ෂයට පත්වන ශ්‍රමිකයන්ගේ පවුල්වල අයට සාධාරණය ඉටුකිරීමේ පිළිසරණක් ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක පැහැදිලි අවශ්‍යතාවක් තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ ම මැදපෙරදිග රටවලදී අපේ කාන්තාවන් හිංසනයට පත්වන අතර එවැනි සිදුවීම්වලින් වාර්තා වන්නේ ද ඉතාම සුළු ප්‍රමාණයක් පමණයි. එසේ වාර්තා වන සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? පැහැදිලිව පෙනෙන කිසිවක් නැහැ. බොහෝ සිදුවීම් කාලයත් සමග යටපත් වනවා. මුලින් ජනමාධ්‍ය ඔස්සේ කතාබහ කෙරෙනවා, පසුව බලධාරින් කතාබහ කරනවා. ටික දිනකින් සිදුවීම කාටත් අමතක වන අතර අවසානයේ වින්දිතයා තනිව විඳදරා ගන්නවා. මේ ක්‍රමය වෙනස් විය යුතුයි. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් මීට වඩා කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කිරීමේ වගකීමක් පුරවැසියා සම්බන්ධයෙන් රාජ්‍යයට සහ ආණ්ඩුවට පැවරෙනවා. ඒ වෙනුවෙන් කාලීන අවශ්‍යතා මත මෙවැනි ප්‍රතිපත්තිවල අවශ්‍ය තැන් සංශෝධනය කිරීමට, නවීකරණය කිරීමට, ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අදාළ නිලධාරීන් පෙළඹවීම සේ ම වගකීම් පැහැර හරින නිලධාරීන්ට නිසි දඬුවම් ලබාදීමට රජය මැදිහත් විය යුතුයි.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්


