Sunday, April 26, 2026
Homeදේශීයඉතිහාසයේ අඩුම පොලියට උත්සව සමයේ ක්ෂණික ණයක්

ඉතිහාසයේ අඩුම පොලියට උත්සව සමයේ ක්ෂණික ණයක්

– වාර්ෂික පොලිය 0.625%යි
– මාස 10කින් ගෙවීමේ පහසුකම්
– අයදුම් කළ වහාම ගිණුම්වලට මුදල්
– උපරිමය රුපියල් 50,000යි

පවතින කොවිඩ් වසංගත තත්ත්වය තුළ අභියෝග රැසකට මුහුණ දී සිටින සැමට එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්ෂණික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා වන චක්‍ර ලේඛය අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇත.

කොවිඩ් වසංගත තත්ත්වය තුළ රටේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරලීම සඳහා කැපවී කටයුතු කළ සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස් ආදී වූ සේවාවන්හි නියුතු සමස්ත රාජ්‍ය සේවයට මේ ණය යෝජනා ක්‍රමය යටතේ සහන ලබාදීමට රාජ්‍ය සේවා අමාත්‍යාංශය අදාළ චක්‍ර ලේඛය මගින් උපදෙස් ලබාදී තිබේ.

ත්‍රිරෝද, පාසල් වෑන් සහ බස් රථ හිමියන්ට සහ පෞද්ගලික බස් රථ සේවකයන් වැනි අයට සිය බැංකු ගිණුම පවත්වාගෙන යන රාජ්‍ය බැංකුව වෙත ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කොට සහන ණය මුදල ඉල්ලුම් කිරීමට පිළිවන. මේ කාණ්ඩයට අයත් නොවන එහෙත් රාජ්‍ය බැංකුවල ගිණුම් ඇති දෛනික රැකියාවන්හි නිරතවූවනටද සිය බැංකුවෙන් මූල්‍ය පහසුකම් ඉල්ලුම් කළ හැකිය.

උදාවන නත්තල හා නව වසර සැමරීම වෙනුවෙන් ලබාදෙන මේ පරිපූරක උත්සව ණය යෝජනා ක්‍රමය සියයට 0. 625ක පොලී අනුපාතයක් යටතේ මාස 10කින් ගෙවීමට යටත් වන පරිද්දෙන් ලබා දීමට නියමිතය.

මසකට ආදායම රුපියල් 50,000.00 කට වැඩි රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 50,000.00ක ණය මුදලක් ද රුපියල් 25,000.00 ත් රුපියල් 50,000.00ත් අතර වැටුප් ලබන නිලධාරීන් සඳහා රුපියල් 25,000.00ක ණය මුදලක්ද මසකට රුපියල් 25,000.00 කට අඩු වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 10,000.00ක ණය මුදලක්ද මේ ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගැනීමට හැකි වේ.

READ:   යහපාලන කාලේ වෙළඳ අමත්‍යාංශයේ අක්‍රමිකතා ගැන විමර්ශන

ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු මගින් මේ ණය සහන ලබාදීමට නියමිත අතර අදාළ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් මගින් ණය අයදුම් කරන නිලධාරීන්ගේ නාම ලේඛන සේවාස්ථානය අසල පිහිටි රාජ්‍ය බැංකු වෙත ඉදිරිපත් කිරීමෙන් ණය මුදල ලබා ගැනීමට ඉඩකඩ ලබාදී ඇත. අදාළ ණය මුදල දෙසැම්බර් මස 18 වැනි දිනට පෙර ඉල්ලුම්කරුවන්ගේ ගිණුම්වලට බැර කිරීමට කටයුතු යොදා ඇත.

කොවිඩ් 19 අභියෝගය හමුවේ අඩාල වූ ආර්ථිකය සහ ජන ජීවිතය මුළුමනින්ම යථා තත්ත්වයට පත් කොට 2020දී අහිමි වූ ප්‍රගතියද සමඟින් 2021 වසරේ රට ඉදිරියට ගෙන යෑම රජයේ අරමුණ වී තිබේ.

dinamina

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්