ලංකා විදුලිබල මණ්ඩලය මන්නාරම් දූපතේ ඉදි කළ ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය අද (දෙසැම්බර් 08) පෙරවරු 10.30ට අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරෙයි.

ටර්බයින් කුලුනු 30කින් සමන්විත මේ සුළං විදුලි බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 103.5කි. සමස්තයක් ලෙස වසරක කාලයක් තුළ උපරිම වශයෙන් ගිගාවොට් පැය 404ක විදුලි ජනනයක් මෙමඟින් සිදු කළ හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. අනපේක්ෂිත කාලගුණික, පාරිසරික හා වෙනත් බාධක උද්ගත වුවත් ගිගාවොට් පැය 360ක ජනනයක් කළ හැකි වන බව ගණන් බලා ඇත.
මේ බලාගාරය නිසා වසරකට කාබන්ඩයොක්සයිඞ් (හරිතාගාර වායූ) මෙට්‍රික් ටොන් 288,000ක් වායුගෝලයට එක් වීම වළක්වාගත හැකි බව ගණනය කර ඇත. බලාගාරය එක්සත් ජාතීන්ගේ පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රණයට සෘජු ව ම දායක වන බව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය මඟින් මේ වන විට පිළිගෙන තිබේ.
මේ බලාගාරයෙන් විදුලිය ඒකකයක් නිපදවීමට වැය වන්නේ රුපියල් අටක් වැනි මුදලකි. මෙරට වැඩි ම විදුලි ජනනයකට දායක වන පොසිල ඉන්ධන බලාගාරවලින් ඒකකයක් නිපදවීමට වැය වන රු. 25-30ක් වැනි මුදල හා සසඳන විට මෙය ඉතා ලාභදායී නිෂ්පාදනයකි.
මන්නාරම සුළං විදුලි බලාගාරයෙහි විශේෂත්වයක් වන්නේ මන්නාරම් දූපතෙහි ස්වාභාවික පිහිටීමෙහි වාසිය ද ඉවහල් කරගෙන ටර්බයින කුලුනු නිරිතදිග හා ඊසානදිග මෝසම් සුළං ප්‍රවාහ ද්විත්වයට ම හසු වන ලෙස ඉදි කර තිබීමයි. මන්නාරම සුළං විදුලි බලාගාරය ප්‍රධාන වශයෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් සපයන ලද ඇ. ඩොලර් මිලියන 134ක ණය ආධාරයක් යටතේ ඉදි වූවකි. ටර්බයින නිෂ්පාදනය සිදු කරන ලද්දේ ලොව මුල් පෙළේ සුළං බල යන්ත්‍ර නිපදවන සමාගමක් වන ඩෙන්මාර්කයේ වෙස්ටාස් සමාගම විසිනි.

මන්නාරම සුළං බලාගාරය සම්බන්ධ සවිස්තර ලිපියක් දෙසැම්බර් 16 වැනි දා විදුසර තුළින් බලාපොරොත්තු වන්න. බලාගාරය සම්බන්ධයෙන් මීට පෙර විදුසර යූටියුබ් චැනලයේ ප්‍රසිද්ධ කළ විඩියෝ පහත ලින්ක්වලින් නරඹන්න.
https://www.youtube.com/watch?v=vF5JqQzcHL4https://www.youtube.com/watch?v=sLK01xvyWY0
විදුසර පිටුවෙනි


