පෙම්වතියට තිලිණ කළ පැමෝරා සබන් වලින් ආරම්භ වූ ශ්‍රී ලංකාවේ සබන් ව්‍යාපාරය.
පුරාතනයේ රෙදි සේදීමටත් ඇඟ සේදීමටත් පෙනෙළ කොළ භාවිත කිරීම නතර වූයේ බටහිරින් පැමිණි සබන් නිසාය. එම කාලයේ ඈත ගම්මානයන්හි තිබොල් පොලුවල කටුවේ රඳවා තිබූ පැමෝරා සබන් මිලදී ගත් ගැමි තරුණයන් ඒවා තම පෙම්වතියට තිළිණ කිරීමේ කතා අප අසා ඇත.
අතීතයේ ලාංකිකයන් ඇඟපත හා රෙදි පෙරෙදි සේදුවේ පෙනෙළ කොළ තැලූ ඉස්මෙනි. එම ඉස්ම දියට දමා කැලතූ විට පෙණ නැගෙයි. පෙනෙළ ඉස්මෙන් රෙදි සේදීම නතර වූයේ එරෝප්පයෙන් සබන් ආවාට පසුවය.
ඒ කාලේ ඉතාම ජනප්‍රිය වූයේ පැමෝරා සබන්ය. එය ඇඟේ ගාන සබන් විශේෂයකි. පුරාණයේ ඈත ගම්මානවල කෝපි කඩවල පවා පැමෝරා සබන් අලෙවියට තිබුණි. සව් කඩදාසිවල එතූ පැමෝරා සබන් තිඹොල් පොලුවල කටුතුඩග රඳවා අලෙවියට තිබුණු බව පැරන්නෝ කියති. ඒ කාලයේ පෙම්වතුන් පෙම්වතියන්ට දුන් නොම්මර එකේ තෑග්ගක් වූයේ පැමෝරා සබන් කැටයයි. පැමෝරා සබන් කැටයකටම නොව බෝලයකට සමාන වූවකි.
මෙරට චිරාත් කාලයක සිට ජනප්‍රියතම සබන් වර්ගය ලෙස සමාජගතව ඇත්තේ බෝල සබන්ය. එහෙත් අද නම් බෝල සබන් දැක ගන්නටත් නැත.
ලංකාවේ 1950 ටත් ඈත අතීතයේ සිට මෙරට පුවත්පත්වල පළවූ සබන් දැන්වීම් නිරීක්ෂණයේදී පෙනී යන්නේ මෙරට තුළ එදා මෙදා තුර සබන් වෙළෙඳාම සමාගම් කීපයක් අතර සංසරණය වන බවයි. මේ සමාගම් අතර පැවත ඇති තරගකාරීබව, වෙළෙදාමේදී සැලකිල්ලට ගතයුතු උපායඋපක්‍රම හා ආරක්ෂක විධිවිධාන පිළිබඳ පාඩම් ගණනාවක් අපට කියාදෙයි.
මීට වසර 30කට පමණ පෙර මේ රටේ ප්‍රාදේශීය සබන් අධිරාජ්‍යයක් ගොඩනගාගෙන සිටි එක් ප්‍රදේශයක් නම් කළුතර ප්‍රදේශයයි. මේ ප්‍රාදේශීය සබන් නිෂ්පාදකයා තම ඉලක්ක වෙළෙඳපොළ (Target group) ලෙස හඳුනාගෙන සිටි පාරිභෝගිකයාත් වූයේ රබර් වතුවල, තේවතුවල වැඩ කරන ගැමියන් සහ සේවක පිරිස්ය. මේ පිරිස්වලට තිබුණ ප්‍රධාන බාධකය කූඩැල්ලන්ය. මේ කියන නිෂ්පාදකයාගේ සබන් වර්ගය කකුලේ ගාගත් විට කූඩැල්ලන් පැත්ත පළාතේ ආවේ නැත. එම නිසා බොහෝදෙනා එම සබන් රෙදි හෝදන්නටත් තෝරාගත් නිසා අර්බුදයකට මුහුණ පෑවේ ලංකාවේ ප්‍රධාන පෙළේ සබන් නිෂ්පාදකයන්ය.

මේ නිසා ප්‍රධාන පෙළේ සබන් නිෂ්පාදකයන් කළුතර ප්‍රදේශයේ සමීක්ෂණයක් කළේය. විශාල පරිමාණයෙන් සබන් නිපදවන නිසා ප්‍රදේශයකට පමණක් විශේෂිත සංයෝගයකින් යුතු සබන් නිෂ්පාදනයට හැකියාවක් වූයේ නැත. ප්‍රධාන පෙළේ නිෂ්පාදකයන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ සබන් අලෙවි කරන කඩවලට එතෙක් ලබා දුන් 7% කොමිස් මුදල 20% දක්වා වැඩි කිරීමයි.
ඒත් ඒ වාසිය සබන් ගැනුම්කරුවන්ට ලබා දෙන්න කඩකාරයින් පියවර ගත්තේ නැත. ඒ නිසා ප්‍රාදේශීය සබන් වෙළෙන්දාගේ අධිරාජ්‍යය බිඳ දැමීමට හැකිවූයේ නැත.
අන්තිමේදී මහා පරිමාණ නිෂ්පාදකයින් කළේ කළුතර සබන් කර්මාන්තකරු අමුද්‍රව්‍ය මිලදී ගන්නා තැන් සොයා බැලීමයි. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වූයේ ‘පොල්තෙල්’ සැපයුම්කරු සොයා ගැනීමයි. අවසානයේ පොල්තෙල් සමාගම සොයාගත් මහා පරිමාණ නිෂ්පාදකයින් එහි තිබූ සියලු පොල්තෙල් බැරල් අත්පිට මුදලට මිලදී ගත්තේ අනාගතේ ලැබෙන්නට ඇති පොල්තෙල් තොග සඳහාද අත්තිකාරම් මුදලක් ගෙවමිනි. පොල්තෙල් සපයාගත නොහැකි වී කළුතර සබන් නිෂ්පාදනය ඇන හිටියේය.
බැංකු ණයකටද හිරවී සිටි නිසා ව්‍යාපාරය දැඩි මූල්‍ය අර්බුදයකට පත්විය. සබන් සඳහා දැඩි ඉල්ලුමක් තිබුණද නිෂ්පාදනයට අවශ්‍ය පොල්තෙල් නැත. මෙසේ මාස තුනක් පමණ පොල්තෙල් නොමැතිව ගියෙන් අවසානයේ ප්‍රාදේශීය සබන් නිෂ්පාදකයාට යන එන මං නැතිවිය.
ඉන්පසු ප්‍රධාන පෙළේ නිෂ්පාදකයින්ගේ තම සබන් කළුතරට නිකුත් කළේ කොන්දේසියක්ද ඇතිවය. ඒ කොන්දේසිය නම් මින් ඉදිරියට අනෙකුත් සමාගම්වල සබන් විකුණන්නේ නම් තමන්ගේ සෙසු නිෂ්පාදන ඔවුන්ට නිකුත් කිරීමෙන් වළකින බවය.
කලකට පසුව ප්‍රධාන පෙළේ නිෂ්පාදකයින්ගේ සබන් ඒකාධිකාරය බිඳ හෙළීමට සමත් ආයතනයක් ජාඇල ප්‍රදේශයෙන් බිහි වූයේය. එම සබන් ජනප්‍රිය වෙද්දී ඊට එරෙහි මඩ ප්‍රහාරයක් එල්ල වූයේය. එනම් ජාඇල නිෂ්පාදකයාගේ සබන් සත්ත්ව තෙල්වලින් නිෂ්පාදනය කරන බවය. ජාඇල සබන් ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතු කරන ලද්දේ මෙරට ප්‍රකට විනෝද සමය රචකයා වූ එච්.ජී. විජේදාස සම්බන්ධ ව්‍යාපාරයක් මගිනි. තම නිෂ්පාදනයේ සත්ත්ව තෙල් අඩංගු නැති බවත් එහි සත්ත්ව තෙල් ඇතැයි ඔප්පු කොට පෙන්නුවොත් රුපියල් ලක්ෂ 10ක තෑග්ගක් දෙන බවත් සබන් ලේබලයේ මුද්‍රණය කරන්නට ජාඇල නිෂ්පාදකයා පියවර ගෙන තිබුණි.
මේ සබන් ව්‍යාපාරය, ව්‍යාපාර දියුණුවට ගුප්ත විද්‍යාව උපයෝගි කරගත් අවස්ථාවකට උදාහරණයකි. ජාඇල සබන් ව්‍යාපාරයේ හිමිකරුගේ බෑණා මැලේ ජාතික සම්භවයක් සහිත, අංක විද්‍යාව පරතෙරට හදාරා තිබූ පුද්ගලයෙකි. ඔහු ඒ සබන් වර්ගයට තම නම දැමුවේ අංක ශාස්ත්‍රයට අනුව මහා පරිමාණ නිෂ්පාදකයන්ගේ සබන් නාමවල ‘ජනප්‍රිය ඉලක්කම’ දැඩි ලෙස පරීක්ෂා කිරීමෙන් පසුවය. නම හදා තිබුණේ ව්‍යාපාර නාමය අඛණ්ඩව පැතිර යන ලෙසය. බලා සිටිද්දී මේ කියන ජාඇල ව්‍යාපාරිකයා ප්‍රකෝටිපතියකු බවට පත්විය.
අලුත් සබන් ව්‍යාපාරයට විධායක ශ්‍රේණියේ නිලධාරීන් කිහිප දෙනකු බඳවා ගැනීමට ඉංග්‍රීසි පත්තරවල දැන්වීම් දමන්නේ මේ අතරය. ව්‍යාපාර හිමිකරුගේ බෑණා, ප්‍රධාන පෙළේ සබන් නිෂ්පාදකයන් යටතේ සේවය කරමින් සිටින්නන් මේ ව්‍යාපාරයේ විධායක නිලධාරීන් ලෙස බඳවා නොගන්නා ලෙස දැඩි විරෝධයක් දැක්වීය.
නමුත් බෑණාගේ විරෝධය නොතකා ප්‍රධාන පෙළේ ආයතනවල සේවය කළ විධායක නිලධාරින් කීප දෙනකුම සේවයට බඳවා ගන්නා ලදී. කෙසේ වුවත් මහා පරිමාණ නිෂ්පාදකයින්ට තමන් වෙතින් ගොස් ජාඇල ආසන්නයේ සේවය කරන සේවකයින්ගේ මාර්ගයෙන් නම් ‘අලුත් සබන් කෑල්ලේ’ මාත්‍රාව නොහොත් සංයෝගය සොයාගත හැකි වූයේ නැත.
සිදු වූයේ ඊට වඩා වෙනස් දෙයකි. මුදල් යහමින් ගැවසෙන විට අලුත් සබන් කොම්පැනියේ විධායක නිලධරීන් මෙන්ම අධිපතිවරයාගේ දරුවන්ද රාත්‍රි සමාජශාලාවලට පුරුදු විය. කුමන්ත්‍රණයක් නිසා සිදුවූවක් යැයිද මතයක් තිබේ. ප්‍රධාන පෙළේ නිෂ්පාදකයන් තම ඔත්තුකාර විධායක නිලධාරීන්ට ඕනෑතරම් මුදල් වියදම් කළ බව පැවසේ. ඒ කෙසේ වෙතත් අවසානයේ ‘නයිට් ක්ලබ්’ සංස්කෘතිය නිසා අලුත් සබන් කොම්පැනිය කඩාවැටුණි. දේශීය ව්‍යාපෘතිය කෙමෙන් ආර්ථික අර්බුදයක පැටලෙන්නට විය.
නිෂ්පාදන අංශයද කෙමෙන් බිඳ වැටෙන්නට විය. නිෂ්පාදන අංශයේ හොඳම සේවකයින් නොවටිනා අධික මිලට මහා පරිමාණ නිෂ්පාදකයන් විසින් සේවයට බඳවා ගන්නා ලදී. ටික කලකින් ව්‍යාපාරය කඩාවැටුණි.ඉන්පසු මේ සබන් ව්‍යාපාරය යන්ත්‍ර සූත්‍ර සමග මිලදී ගන්නේ තවත් ඉන්දීය ව්‍යාපාරිකයෙක් විසිනි. ඔහුවත් උපක්‍රමශීලීව ඇද වැට්ටවීම නිසා හෝ ඇදවැටීම නිසා මහා පරිමාණ නිෂ්පාදකයින් තමන්ට තිබූ එකම සබන් අභියෝගකාරි සබන් ව්‍යාපාරය මිලදී ගත්තේ ලියාපදිංචි වෙළෙඳ සලකුණ සමගය.
ව්‍යාපාර ප්‍රවර්ධනයට ප්‍රචාරක කටයුතුවලින් විශාල බලයක් ලැබෙයි. එය වෙනම කලාවකි. උපක්‍රමික කලාවකි. සබන් ඒකාධිකරය පවත්වාගෙන යන මහා පරිමාණ නිෂ්පාදකයින් සමග ප්‍රචාරක කටයුතු කිරීමට අලුත් සබන් නිෂ්පාදකයින්ට තබා ඇතැම් ප්‍රබල සබන් නිෂ්පාදකයින්ට පවා නොහැකිය.
රූපවාහිනී දැන්වීම් සඳහා වේලාවක් වෙන් කර ගැනීමේදී නාළිකා කීපයක එකම වේලාවක සබන් දැන්වීම ප්‍රචාරය කරන නිසා මොන නාළිකාව ඇල්ලුවත් බලන්නට ලැබෙන්නේ ප්‍රධාන පෙළේ නිෂ්පාදකයින්ගේ රූපවාහිනී දැන්වීමය. කඩවල ඇති අනෙක් සබන් බර්ගවල පොස්ටර් වැහෙන ලෙස පෝස්ටර් අලවා අවශ්‍ය නම් කඩයේ නාම පුවරුව පවා තම සබන්වල නම් සඳහන් කර ලබාදීමට මේ මහා පරිමාණ නිෂ්පාදකයින් සමත්ය. නාම පුවරුව විදුලි බල්බ සහිත එකක් නම් මුළු සාප්පුවේම විදුලි බිල වුණත් ගෙවන්නට මේ නිෂ්පාදකයින් පසුබාන්නේ නැත.
ලංකාවේ විවිධ දේශීය ව්‍යාපාරිකයන් නිෂ්පාදනය කරන සබන් පිටකොටුවේ වීදිවල දක්නට ඇත. පීපල්ස් පාක්, සෝන්ඩර්ස් පෙදෙස, සෙන්ට්‍රල් රෝඩ් හා චයිනා වීදිය මේ අතරින් ප්‍රධානය. මේ අතරින් සෝන්ඩර්ස් පෙදෙසේ වසර 40කටත් වැඩි ඉතිහාසයක් ඇති සබන් නිෂ්පාදන ආයතනයක් ඇත. වෙළෙඳපොළේ රුපියල් 50කට පමණ විකුණන සබන් කෑල්ලක රු. 20ක් පමණ ඇත්තේ ප්‍රචාරක ගාස්තුය. මේ දේශීය නිෂ්පාදකයින් මහා පරිමාණ නිෂ්පාදකයින්ට වඩා 40%ටත් අඩු මිලකට තම සබන් පිටකොටුවේ තොග කඩවලට සපයයි.
බාර් සබන්ද මෙරට ජනප්‍රිය සබන් වර්ගයකි. එහෙත් එම නිෂ්පාදකයින් ද මහාපරිමාණ වෙළෙඳ ඒකාධිකාරය හමුවේ පසුබා සිටී. බාර් සබන් ගැන ප්‍රචලිත මෙරට සමුපකාර ව්‍යාපාරයයි. කලක් මෙරට සබන් ව්‍යාපාරයේ දැවැන්තයකු වූයේ [BCC (British Ceylon Corportion] ය. බීසීසී සඳුන් සබන්, සුවේන්ද්‍ර ස්නෝවයිට් සබන් ඒ අතර ජනප්‍රිය නිෂ්පාදන විය. ස්නොෆ්ලේක්ස් ඔවුන්ගේ රෙදි කුඩු වර්ගය විය. ඒත් අද එ්වා දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. මාතර හරිස්චන්ද්‍ර මෙන්ම කඳානේ ස්වදේශී ව්‍යාපාරයක මෙරට සබන් ව්‍යාපාරය තුළ කාලයක් තිස්සේ තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන අතර වෙන්ඩෝල් ව්‍යාපාරය මෙන්ම සිඬාලේප ව්‍යාපාරය දේශීය සබන් කර්මාන්තයේ නියැළී සිටී.
මේ අතර ප්‍රාදේශීයව නැගී සිටිමින් ඇද වැටෙමින් තවමත් සබන් කර්මාන්තය රැකී තිබේ. කොටහේන, ආමර්වීදිය, හෙට්ටිවීදිය, ආදුරුප්පුවීදිය ජැෆ්නා ස්ට්‍රීට් වැනි ප්‍රදේශවල බොහෝ විට දක්නට හැක්කේ අනවසරයෙන් ඉන්දියාවෙන් ගෙනන ලද ඉන්දියන් සබන් වර්ගය.
පිටකොටුවේ පළවැනි හරස් වීදිය සිට පස්වන හරස් වීදිය දක්වාත්, කෙයිසර් වීදිය, කුමාර වීදිය පදික වේදිකාවේත් නිතර සබන් අලෙවි කෙරයි. ඒවා බොහෝවිට ජනප්‍රිය වෙළෙඳ නාමයන් අනුකරණය කළ ඒවාය. ඒ බොහෝ සබන් කෑලි 5ම විකුණන්නේ රු. 100කටය. දේශීය සබන් අතර නිල් සබන් ඉතා ජනප්‍රිය වළං සේදීමටය.
සුළු පරිමාණ සබන් නිෂ්පාදකයින් තම ව්‍යාපාර බංකොළොත් වූ විට ඒවා තොග පිටින් විකුණන්නේ පිටකොටුවටය. සමහර සබන් තොග සුපර් මාකට් එකේ අලෙවි නොවීනම් අන්තිමට ග්‍රෑම් 70 ග්‍රෑම් 50 බවට වේලී කරකුට්ටන් වෙයි.
උපාලි විජේවර්ධන මෙරට සබන් නිෂ්පාදන ලොවට සෘජුවම මැදිහත් වූ පුද්ගලයෙකි. ඔහුගේ ව්‍යාපාරික නාමය වූයේ උපාලි කොන්සියුමර් ප්‍රඩක්ට්ස්. ඔහු වෙළෙඳපොළට හඳුන්වා දුන් සබන් වර්ග ක්‍රිස්ටල්, ටිංගල් හා මෙට්‍රෝය. පසුව එම ව්‍යාපාරය ‘සිකුරු’ නමින් සබන් වර්ගයක්ද නිපදවන ලද්දේ රෙදි සේදීමටය.
උපාලිගේ එක් සබන් වර්ගයක් උපාලිගේ මරණයෙන් පසු පවා මහා පරිමාණ සබන් නිෂ්පාදකයන්ට අභියෝගයක් විය. ඔවුන් කළේ මාස කීපයකට තම නිෂ්පාදනයක් කිරීමට එම නිෂ්පාදනාගාරයට කොන්ත්‍රාත්තුවක් ලබාදීමය. කොන්ත්‍රාත්තුව හමාර කළ විට උපාලිගේ ඒ සබන් වර්ගය පාරිභෝගිකයින්ගෙන් ඈත් වී ගොස් තිබුණි. අදත් වෙළෙඳපොළේ දක්නට ලැබෙන බොහෝ සබන් විවිධ කොම්පැනිවල විවිධ නම්වලින් නිකුත් වුවත් සබන් කැටය නිෂ්පාදනය වන්නේ උපාලිගේ මේ යන්ත්‍රෝපකරණවලින් බව ඒවායේ ඇසුරුම්වල සඳහන් වී තිබේ.
මෙරට සබන් ඒකාධිකාරය පිහිටුවාගෙන ඇති මහා පරිමාණ නිෂ්පාදකයින් තවමත් තමන්ට තරගකරුවකු බිහිවද්දී ඔවුන් සමග තරග කරන්නේ ඉතා සූක්ෂ්මවය. එම තරගකරුවන්ගේ නිෂ්පාදන වැඩියෙන් අලෙවි වන ප්‍රදේශවල තොග වෙළෙඳසල්වලට මාස 3-6 ලෙස ණයට බඩු දීම මගින්ම සුළු පරිමාණ නිෂ්පාදකයින් නන්නත්තාර කිරීම ඔවුන්ට සුළුදෙයකි.
එල්ටීටීඊ ප්‍රශ්නය විසඳීමෙන් පසු මෙරට දැවැන්ත සබන් වෙළෙඳපොළක් බිහි වන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලය. කොළඹ ප්‍රදේශවල දක්නට ලැබෙන විවිධාකාර සබන් වර්ග මේ ප්‍රදේශවල එතරම් දක්නට ලැබෙන්නේ නැත.
ඔය මොනවා කීවත් ලංකාවේ ඇත්තන්ට සබන් යනු ජනප්‍රියම නැතුවම බැරි භාණ්ඩයකි. අප පිළිගත්තත් නැතත් එම කර්මාන්තය තුළ වෙළෙඳ ආධිපත්‍යයක් පිහිටුවා ගෙන ඇත. ඇත පිටිසර දුෂ්කර ගමක කටුමැටි ගෑ කඩයකින් වුවත් සබන් කෑල්ලක් ඉල්ලන්නේ යම් යම් සබන් වර්ගවල නම් කියා නිසා මේ ගැන ඔබටද වැටහෙනු ඇත. එවන් නමක් දිනාගැනීම පහසු නැත. එහෙත් බුද්ධියෙන් ක්‍රියාකරන්නේ නම් මහා පරිමාණ ආයතන පරදවා ඉදිරියට ඒමට බැරිකමක් නැත. උපාලි විජේවර්ධන ටොපි හා චොකලට් වෙළෙඳපොළ ඇල්ලුවේ එසේය. සැම්සන් සහ පුත්‍රයෝ සපත්තු වෙළෙඳපොළ ඇල්ලුවේ එසේය. මේ හැම කතාවකම ගතයුත්තක් තිබෙන බව ව්‍යාපාරික ලෝකයේ ඉහළ නගින්නට සැරසෙන අය තේරුම්ගත යුතුය.


