විශේෂාංග

කුඩාවිලච්චිය වැව සමග කරලියට එන සාලිය අසෝකමාලා පෙම් පුවත Former Director General of Irrigation at Department of Irrigation

2012 දී වාරිමාර්ග හා පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් සමඟ “කුඩාවිලච්චිය” පුරාණ වැව් බැම්ම හරහා ගමන් කරන විට එය අතීතයට යන ගමනක් සේ ද මෙම මහා අනර්ඝ නිර්මිතය ඉදි කළ හා බලා කියා ගත් පිරිස් තවමත් ඒ අවට සෝදිසියෙන් සිටිත් දැයි මට හැඟුණේ ය. විල්පත්තු ජාතික වනෝද්‍යානය තුල සැඟවී ඇති වැව් බැම්මේ, සොරොව්වේ හා පිටවානෙහි නටබුන් අතර සැරිසරන ඕනෑම කෙනෙකුට එම හැඟීම නිසැක ව ම දැනෙනු ඇත. සමහරු විශ්වාස කරන්නේ කුඩා විලච්චිය ඉදිකර ඇත්තේ සාලිය කුමරු විසින් බවත් අශෝකමාලා කුමරිය සමඟ විවේක කාලය ගත කිරීම සඳහා මෙය ඔහුට ප්‍රියතම ස්ථානයක් වූ බවයි.විල්පත්තු ජාතික වනෝද්‍යානයෙහි නිරිතදිගින් පිහිටි මෙම කැඩී බිඳී බැම්ම හා අනෙකුත් නිර්මිත යථා තත්ත්වයට පත් කොට ජලාශය නැවත ජලයෙන් පිරවීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයක දී ශක්‍යතා පරීක්ෂණ සහ සමීක්ෂණ සිදු කර ඇත.ජලාශය ප්‍රතිස්ථාපනය කිරීමෙන් පසුව මෙය තන්තිරිමලේ සහ විලච්චිය ප්‍රදේශයේ ගෘහ අවශ්‍යතා සපයනු ඇති අතර මහා විලච්චිය වාරි ව්‍යාපාරයේ පහල කෙළවරට වාරිමාර්ග සැපයුම වැඩි කරනු ඇත. තවත් වැදගත් සේවයක් වන්නේ වන්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වන සතුන් සඳහා අනවරත ජල ප්‍රභවයක් වීමයි.මෝදරගං ආරු ගංඟාවේ, තලාව ඔය යන අතු ගංගාවෙහි මහවිලච්චිය වැව පිහිටා ඇති අතර, නටබුන්ව පවතින කුඩාවිලච්චිය, මෝදර ගං ආරුවෙහි තවත් අතු ගංඟාවක් වූ ඉට්ටිකුලම ඇල හරහා ඉඳිව ඇත.මහාවිලච්චිය ජලාශය ඉදිකර ඇත්තේ වසභ රජු (ක්‍රි.ව. 67-111) විසින් බව විශ්වාස කෙරේ. එය වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් 1957-62 කාලය තුළ ප්‍රතිස්ථාපනය කරන ලද අතර දැන් අක්කර 3000 කට ආසන්න භූමි ප්‍රමාණයක් සඳහා ජලය සපයන අක්කර 32,500 ක ධාරිතාවයකින් යුක්ත ජලාශයකි.කෙසේ වෙතත් කුඩාවිලච්චිය වැව් බැම්ම මහාවිලච්චිය වැව් බැම්මට වඩා දිගින් වැඩි අතර දැනට කර ඇති ජලවිද්‍යාත්මක ගණනයන් අනුව පරිමාවෙන්ද වැඩිය. මුල් කාලවලදී මිනුම් කටයුතු කළ මිනින්දෝරුවන් විසින් මෙම වැව් දෙකෙහි නම් වැරදීමකින් මාරු කර යොදන්නට ඇතැයි අනුරාධපුර වාරිමාර්ග නිලධාරීහු විශ්වාස කරති.කිලෝමීටර 2.5 කට ආසන්න දිග බැම්ම දිගේ කඩවර 7 ක් ඇත. ජලාශය බිඳී ගොස් ඇත්තේ ඔරොත්තු නොදෙන ජල ප්‍රවාහයක් ගලා ඒම නිසා මිස, බැම්මෙහි, බිසෝකොටුවෙහි හෝ පිටවානෙහි ව්‍යුහාත්මක දෝෂයක් නිසා නොවන බව පැහැදිලි වන්නේ, බිසෝකොටුව හා පිටවාන කිසිඳු බිඳී යාමකට ලක් නොවී මෙතෙක් පැවති බැවිනි.ශතවර්ෂ ගණනාවක් අතහැර දමා තිබුනද, අලි රංචු ගමන් කරන ප්‍රදේශයක් වුව ද බැම්මේහි උඩු ගං ඉවුරේ හොඳින් ඇසුරුම් කර ඇති රලපනාව කිසිදු හානියකට පත් නොවී එලෙස ම පැවතීම විශ්ම ජනක ය.වැව් බැම්මෙහි ඇති තවත් විශේෂ අංගයක් වන්නේ උඩු ගං බෑවුම වඩා ස්ථායි වීම සඳහා යොදා ඇති විශේෂ බෑවුම් නිර්මාණයයි. වර්තමානයේදී මෙය berm ලෙස හැදින්වේ. අපේ ඉපැරණි වාරි ඉංජිනේරුවන් මෙය යොදා ඇති තැන් විරලය. කි මී 2.5 ක් වන රලපනාවට යොදා ඇති මනාවට කැපූ ගල් ලක්ෂ ගණනාවක කටයුතු සිදු කිරීමට සඳහා පමණක් මනා නිපුණත්වයෙන් යුත් විශාල ශ්‍රම බලකායක් සම්බන්ධ වන්නට ඇති බව නිසැකය.බිසෝකොටු දෙක ද පුරාණ ඉංජිනේරුවන්ගේ විශිෂ්ටතම නිර්මාණ බව පැහැදිලි වන්නේ, මෙම ඝන වනාන්තරයේ පවා පැලෑටියක්වත් වැවීමට ඉඩක් නොතබා එකිනෙකට සවිකර ඇති ගල් පුවරු වලින් යුත් ව්‍යුහය දුටු විට ය. ගඩොල්වලින් සාදා ඇති සොරොව් කුළුණේ පිටත කවරය සහ ඇතුළත ගල් පුවරු 2012 දී එලෙසින්ම පැවති අතර පුරාණ වාරි තාක්ෂණයේ විශිෂ්ට බව එයින් මනාව පෙන්නුම් කෙරේ. අවාසනාවට මෙය පසුව නිධන් හොරුන්ගේ ගොදුරක් වීම නිසා එම ගල් පුවරු දැනට එලෙස ම දකින්නට නැත.සොරොව්ව ආශ්‍රිත දැකිය හැකි තවත් විශේෂ නිර්මිතයක් වන්නේ ගල් පුවරු භාවිතයෙන් ජල වාහකයක් ලෙස සාදා ඇති සොරොව්වෙන් පිටවන ඇළ මාර්ගයයි. පුරා විද්‍යා හා වාරි විද්‍යා සමීක්ෂණ අවසන් වූ පසු මෙම නිර්මිතවල ක්‍රියාකාරිත්වය අපට පැහැදිලි වනු ඇත.එහි පුරාණ පිටවානද අපගේ මුතුන් මිත්තන් සතුව තිබූ විශිෂ්ට ඉංජිනේරු හැකියාවන් පෙන්වන තවත් අනර්ඝ නිර්මිතයකි. සාලිය කුමරු සහ අශෝකමාලා විවේක ගත් ස්ථානය ලෙස විශ්වාස කරන බැවින් වාන අසල ඉහලින් ඉදිකර ඇති මණ්ඩපය වැනි කොටස “පතිරිප්පුව” ලෙස විලච්චිය අසල ප්‍රදේශවාසීහු හඳුන්වති. සමහරු එය රාජකීය රැස්වීම් ස්ථානයක් ලෙසද විශ්වාස කරති. වාන අසල ඇති, 16 වන ශතවර්ෂයට අයත් යැයි සැලකෙන සෙල්ලිපියක “කුසයා බුදුවේවා” යන්න සටහන් කර ඇත.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් ඇතිව පුරාවිද්‍යාමක වැදගත්කම ඇති අංග ආරක්ෂා කරමින් ජලාශය ප්‍රතිස්ථාපනය කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉලක්කයයි. පුරාණ ඉංජිනේරුවන් විසින් ගොඩනඟන ලද මෙම වටිනා නිර්මාණ අනාගත පරම්පරාව වල අවධානයට ඉතිරි කිරීමත් සමගම වර්තමානයේ ජලහිඟයෙන් පීඩා විඳින මිනිසා මෙන්ම සතා සීපාවන්ට ජලය ලබා දීම සැමගේ අදිටනයි. .පුරාණ ජලාශ පරිශ්‍රයේ පැය තුනක් පමණ ගත කිරීමෙන් පසු, පුරාණ වාරිමාර්ග ඉංජිනේරුවන්ගේ සැලසුම්, නිර්මාණ සහ ඉදිකිරීම් හැකියාවන් පමණක් නොව, පුරාණ සොරොව් බටයක් තුළ වාසය කරන වලස් පවුලක් මෙන් ම නොයෙක් වන සතුන් ද මැද සමීක්ෂණ කටයුතු සිදු කරන වර්තමාන වාරිමාර්ග නිලධාරීන්ගේ වික්‍රමයන් දකිමින් මම සංචාරයට සමු දුනෙමි. .(හිටපු කලාපීය වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු වසන්ත පලුගස්වැව, ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ලසිඳු කොටවිලාරච්චි සහ අපට මඟ පෙන්වූ ඉංජිනේරු සහකාර මාරපන මහතා වෙත විශේෂ ස්තුතිය පුදකරමි.)

Badra Kamaladasa

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago