Thursday, July 16, 2026
Homeදේශීයසමෘද්ධි ව්‍යාපාරය පෞද්ගලීකරණය කිරීමක් හෝ විකිණීමක් සිදු කරන්නේ නෑ.-ඇමති උපාලි පන්නිල

සමෘද්ධි ව්‍යාපාරය පෞද්ගලීකරණය කිරීමක් හෝ විකිණීමක් සිදු කරන්නේ නෑ.-ඇමති උපාලි පන්නිල

සමෘද්ධි ව්‍යාපාරය පෞද්ගලිකකරණය කිරීමක් හෝ විකිණීමක් සිදු නොකරන බවත්, රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් එය වඩාත් විධිමත් ආයතනයක් බවට පත් කිරීම වත්මන් රජයේ අරමුණ බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) ප්‍රජා සවියට නව බලයක්” වැඩසටහන පිළිබඳ මහනුවර සහස් උයන පරිශ්‍රයේ දී පැවති සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට ඒක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් අමාත්‍යවරයා සඳහන් කළේ රජයේ සුබසාධන කටයුතු “අස්වැසුම” වැඩසටහන හරහා ක්‍රියාත්මක වන අතර, අඩු ආදායම්ලාභී ජනතාවගේ යැපුම් මානසිකත්වය වෙනස් කර ඔවුන් ස්වාධීන පිරිසක් බවට පත් කිරීමේ ප්‍රධාන වගකීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරී ඇති බවයි.

තවද 2026 සිට 2030 සහ 2040 ඉලක්ක කරගනිමින් වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි දෙපාර්තමේන්තුව ව්‍යුහගත කිරීම රජයේ අරමුණ බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

දීර්ඝ කාලයක් පැවති සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු, විශේෂයෙන් අධිභාර ගෙවීමේ ගැටලුව, සියයට 95ක පමණ ප්‍රමාණයකින් විසඳීමට හැකි වූ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දම්මික මුතුගල මහතා, මහනුවර හා මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන්, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, කළමනාකරුවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

READ:   විදේශ මුදල් සම්බන්ධව මහබැංකුවෙන් දැනුම් දීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්