ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර, එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා සලකා බැලෙන අපේක්ෂකයන් අතර සිටින බව The Telegraph පුවත්පත වාර්තා කර තිබේ.
Brendon McCullum ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව, එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB) නව පුහුණුකරුවෙකු සොයමින් සිටින අතර, Andy Flower, Rahul Dravid, Richard Dawson ඇතුළු ප්‍රබල නාමයන් සමඟ කුමාර් සංගක්කාරගේ නමද එම ලැයිස්තුවේ සඳහන් වී තිබේ.
The Telegraph වාර්තාවට අනුව, සංගක්කාරගේ ප්‍රබලතම වාසිය වන්නේ ඔහු Rajasthan Royals කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස ලබා ඇති පුහුණුකරණ හා නායකත්ව අත්දැකීමයි. එහිදී ඉංග්‍රීසි ක්‍රීඩකයන් රැසක් සමඟ සමීපව කටයුතු කර තිබීමද ඔහුට වාසියක් ලෙස සලකා තිබේ.
ක්‍රීඩකයෙකු ලෙස ටෙස්ට් තරග 134කදී ලකුණු 12,400කට අධික ප්‍රමාණයක් රැස් කර 57.40ක සාමාන්‍යයක් පවත්වාගෙන ගිය සංගක්කාර, එංගලන්ත ක්‍රීඩකයන්ගේ සහ ක්‍රිකට් ලෝකයේම ගෞරවය දිනාගත් චරිතයක් බවද එම වාර්තාවේ සඳහන් වේ.
2014 වසරේ එංගලන්ත සංචාරයේදී IPL තරගාවලිය අත්හැර ටෙස්ට් තරගාවලිය සඳහා විශේෂ සූදානමක් ලබාගත් සංගක්කාර, එම තරගාවලියේදී ශතකයක් සහ අර්ධ ශතක තුනක් රැස් කරමින් ශ්‍රී ලංකාවට එංගලන්තයේදී ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් හිමිකර දීමට දායක වූ බවද The Telegraph සිහිපත් කරයි.
එමෙන්ම, ඔහු Marylebone Cricket Club (MCC) හි පළමු බ්‍රිතාන්‍ය නොවන සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර, එංගලන්ත ක්‍රිකට් පද්ධතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති පුද්ගලයෙකු ලෙසද සැලකේ.
කෙසේ වෙතත්, The Telegraph ලිපියේ ප්‍රධාන නිර්දේශය වන්නේ හිටපු සිම්බාබ්වේ නායක සහ එංගලන්ත හිටපු පුහුණුකරු Andy Flower යළිත් එම තනතුරට පත් කළ යුතු බවයි. එහෙත්, කුමාර් සංගක්කාරද එම තනතුර සඳහා ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍ර වූ ප්‍රබල අපේක්ෂකයෙකු ලෙස එහි විශේෂයෙන් අවධානයට ලක් කර තිබේ.


