මහින්ද පතිරණ-සුගීශ්වර – අසංකගේත් නම් ඇතුළත්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සහ අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීම හා බලපෑම් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අසංක නවරත්න, දිලිත් ජයවීර සහ මහින්ද පතිරණ, සුගීශ්වර බණ්ඩාර යන අය විසින් සිදුකර ඇති ප්‍රකාශ ඇතුළත් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස රූපවාහිනී මාධ්‍ය ආයතන 10කට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (15) නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිටු 17ක වාර්තාවක් ගොනුකරමින් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.
මෙම විමර්ශනයට අගතිදායක ලෙස දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ඔවුන්ගේ සැලසුම් සහගත ක්‍රියාදාමයන් සිදු කරමින් අධිකරණයේ සිදු කෙරෙන යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට මහජන අප්‍රසාදයක් සැකයක් සහ අප්‍රසාදයක් වන අයුරින් හා අධිකරණය කෙරෙහි මහජන විරෝධතාවක් ඇතිකිරීමේ අරමුණ ඇතිව පසුගිය 7 සිට මේ දක්වා ප්‍රකාශ සිදු කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.
සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවද පොලීසිය සඳහන් කළේය. චෝදනා එල්ලවී සිටින පිරිසට ලබන ජූලි මස 01දා අධීකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම මෙහිදී කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රතික්ෂේප කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එය අභියාචනාධිකරණය හමුවේ සිදු කරන ලෙස දැනුම් දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ මෙසේ කරුණු දැක්වීය.
“මෙම නඩුවේ තෙවන සැකකරු වන හිටපු බුද්ධි ප්‍රධානි තුවාන් සුරේෂ් සලේ යන අය රැඳවුම් නියෝග මත සිටියදී ජූනි මස 5 වැනිදා රාත්‍රි සිට ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිට ඉන් අනතුරුව පසුගිය 7 දින රාත්‍රි සිට කොළඹ ජාතික රෝහලට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ වනවිට 42 වැනි වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරුන් සිවුදෙනෙකු යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ කාලය තුළදී මෙම විමර්ශනයට අගතිදායක ලෙස දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින්ගෙන් සමන්තවිත කණ්ඩායමක් විසින් ඔවුන්ගේ සැලසුම් සහගත ක්‍රියාදාමයන් සිදු කරමින් අධිකරණයේ සිදු කෙරෙන යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට මහජන අප්රසාදායක්, සැකයක් සහ අප්‍රසාදයක් වන අයුරින් හා අධිකරණය කෙරෙහි මහජන විරෝධතාවක් ඇතිකිරීමේ අරමුණ ඇතිව කටයුතු කරනවා. පසුගිය 7 සිට මේ දක්වා විද්‍යුත් මාධ්‍ය මඟින් අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමත්, සමාජ මාධ්‍ය මඟින් අසත්‍ය වාර්තා ප්‍රචාරණය කිරීමටත් සලස්වා ඇති බවටත් කරුණු අනාවරණය වී තිබෙනවා. ස්වාමීනි එහෙයින් මේ ක්‍රියාදාමයට නියැළුණු පුද්ගලයන් හයදෙනෙකු විසින් සිදු කරනු ලබන ප්‍රකාශ මෙම වැඩිදුර වාර්තාවේ සඳහන් කර තිබෙනවා. ඊට අමතරව එම ප්‍රකාශවලින් අපහාසාත්මකය ගම්‍ය වන කරුණු සම්බන්ධයෙන් වාක්‍ය කණ්ඩ සඳහන් කර තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ, උදය ප්‍රභාත් ගම්මන්පිල, බණ්ඩාර ජයසිංහ, මුදියන්සේලාගේ සුගීශ්වර ලෙනින් නොහොත් සුගීශ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ සහ දිලිත් සුසන්ත ජයවීර යන අයවලුන්ගේ ප්‍රකාශ සහ එම වාක්‍ය කණ්ඩ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව එම පුද්ගලයන් විසින් සිදු කරන ලද ප්‍රකාශ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකරණයකට හෝ ආයතනයකට අපහාස කිරිමේ පනතේ 3-1 ‘අ’ යන්න, 2-‘අ’ යන්න සහ ‘ඇ’ යන්න 1. 2, 3 සහ ‘ඉ’ යන්න 1,2,3 වගන්ති සමඟ කියවෙන එම පනතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බව අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා.
ඒ අනුව එම 2026 ජූනි 7 සිට මේ දක්වා සිදු කර ඇති ප්‍රකාශවල සංස්කරණය නොකළ වීඩියෝ දර්ශනවල පිටපත් ලබා ගැනීමටත්, එම ප්‍රකාශ ඇතුළත් දර්ශන සජීවීව වීඩයෝගත කළ කැමරා හා තාක්ෂණික නිලධාරින් එම දර්ශන මාධ්‍ය මඟින් විකාශකය කරන ලද මාධ්‍යෙව්දීන්, නිවේදකයන්, අධ්යක්ෂවරුන්, විධායක නිලධාරීන් හෝ වෙනත් ඒ හා සම්බන්ධිත මාධ්‍ය ආයාතනවලට අනුබද්ධිත පුද්ගලයන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ පත් කරන ලද නිලධාරීන් හට අවශ්‍ය පහසුකම් සලසන ලෙසට ප්‍රවෘත්ති අධ්යක්ෂවරු වෙත 1979 අංක 15 දරන අපරාධ විධාන සංග්‍රහ පනතේ 124 යටතේ වන වගන්ති ප්‍රකාරව අධිකරණ නියෝග නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
මේ අනුව ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ස්වර්ණවාහිනිය, සිරස, ශක්ති ටීවී, සියත, හිරු, වසන්තම්, දෙරණ සහ ටී.එන්.එල්. රූපවාහිනිය වෙත නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. මෙම විමර්ශනවලට අදාළව නම් කරන ලද පුද්ගලයන්ට ජූලි මස 1දා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. එසේම මෙම විමර්ශන කටයුතුවලින් පසු මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය වෙත පැමිණිලි කිරීමට අදාළ ඉල්ලීම සිදු කරන බවත් දන්වා සිටිනවා.”
මහේස්ත්‍රාත්වරයා
“සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් සිදු කරනවාද”
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
“ඒ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කරනවා ස්වාමීනි.”
“එසේම පසුගිය දිනවල පත් කරන ලද වෛද්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරනවා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 යටතේ මේ ඉල්ලීම සිදු කරන්නේ. මොවුන් දිගින් දිගටම කරගෙන ගියොත් මහජනතාව දැඩි අප්‍රසාදයක් ඇතිවිය හැකියි. පෙර දිනයේත් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූවා.”
මහේස්ත්‍රාත්වරයා
“අධිකරණයට ගෙන්වීමේ අවශ්‍යතාවක් නැහැ. ඉදිරිපත් වූ කරුණු සලකා බලා අභියාචනාධිකරණයට තමයි මේ අය ගෙන්විය යුත්තේ. මේ අධිකරණයට ගෙන්වීමේ අවශ්‍යතාවක් නැහැ. කෙළින්ම අභියාචනාධිකරණයෙන් ඒ ඉල්ලිම සිදු කරන්න.”
සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් අදාළ ලින්ක් සමඟ ඉදිරි දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියේය.
මහින්ද පතිරණ යන අයකු මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශ සිදු කර ඇති බවට අදාළ කරුණු ඇතුළත් වාර්තාවක් එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා සඳහා නඩුව ලබන ජූලි මස 1 වැනිදා යළි කැඳවයි. ප්‍රධාන පොලිස් පරීක්ෂණ ගුණසේකර සහ උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දක්වනු ලැබූහ.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සිදු කළ ඉල්ලීම්වලට අවසර ලැබිණි.
එසේම දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන තෙවන සැකකරු නිරීක්ෂණය කරන ලෙස අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම එය අදාළ වන මාලිගාකන්ද අධිකරණයෙන් සිදු කරන ලෙස දන්වා සිටියේය.
එම ඉල්ලීම ලබන 20ට පෙර සිදු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.
සුභාෂිණී සේනානායක
:උපුටා ගැනීම – දිනමිණ


