Tuesday, April 21, 2026
Homeදේශීයලාංකිකයා ඝාතනයේ පළමු සැකකරු ඇතුළු සියදෙනෙකු අත්අඩංගුවට.

ලාංකිකයා ඝාතනයේ පළමු සැකකරු ඇතුළු සියදෙනෙකු අත්අඩංගුවට.

පාකිස්ථානයේ සියල්කොට් හී වසිරාබාද් මාර්ගයේ දී යම් පිරිසක් එරට ප්‍රාදේශීය කම්හලක කළමනාකරුවෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සිය දෙනෙකු පමණ අද පස්වරුවේ ම අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා පවසනවා.

පොලිසියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පාකිස්ථාන ඩෝන් පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, දේව අපහාස චෝදනාවක් එල්ල කරමින් අදාළ ලාංකිකයාට මෙලෙස පහර දී ඇති බවයි. වධ හිංසා පමුණුවා ඝාතනය කර’ අනතුරුව ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බව එරට පොලිසිය සඳහන් කළා.

ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර

සියල්කොට් දිස්ත්‍රික් පොලිස් නිලධාරි උමාර් සයීඩ් මලික් විසින් එම පුද්ගලයා ප්‍රියන්ත කුමාර නැමැති අයෙකු ලෙස හඳුනාගෙන ඇතැයි ඩෝන් පුවත් වෙබ් අඩවිය සඳහන් කළා.

මේ අතර එරට අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ, සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බවයි.

අගමැති ඉම්රාන් පවසා සිටියේ අදාළ පහර දීම සහ ශ්‍රී ලාංකිකයා පණපිටින් පුළුස්සා දැමීම පාකිස්ථානයට ලැජ්ජා සහගත තත්ත්වයක් එක් කළ බවයි.

ඩෝන් පුවත් වෙබ් අඩවිය මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එරට අන්තර් සේවා මහජන සම්බන්ධතා අංශය (ISPR) පවසා ඇත්තේ සියල්කොට්හි මැර කල්ලිය විසින් සිදු කරන ලද මිනීමැරුම හෙළා දැකිය යුතු ක්‍රියාවක් බවයි. මෙවැනි අනීතික ක්‍රියා කිසිදු අයුරකින් අනුමත කළ නොහැකි බව, එහි සඳහන්. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා විසින් මෙම අපරාධයේ වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා සිවිල් පරිපාලනයට පූර්ණ සහයෝගය ලබා දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

සිද්ධියෙන් පැය කිහිපයකට පසු පන්ජාබ් ප්‍රධාන අමාත්‍යවරයාගේ නියෝජිතයන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඝාතනය හෙළා දුටුවා. ආගමික කටයුතු සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ විශේෂ නියෝජිත හෆීස් තාහීර් මෙහ්මුද් අෂ්රෆි “සියලු උලේමාවරුන් වෙනුවෙන්” අදාළ සිද්ධිය කෙරෙහි අප්‍රසාදය පළ කළා. ආගමික නායකත්වයකට වන අපහාස සම්බන්ධයෙන් රටේ නීති තිබූ බව අෂ්රෆි පැවසීය. එබැවින් නීතියට අනුව සියල්ල සිදු වූවා නම් යහපත් බව ඔහුගේ අදහසයි. මෙම සිද්ධියට වගකිවයුත්තන් රටට හෝ ඉස්ලාම් ආගමට සිදුකළේ සේවයක් නොවන බවත් ආගමට පටහැනිව කටයුතු කර ඇති බවත් ඔහු පැවසීය. වින්දිතයාගේ පවුලේ අයට ශෝකය ප්‍රකාශ කරමින් අෂ්රෆි කියා සිටියේ රටේ ආගමික විද්වතුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ඉදිරියේදී පවත්වන බවයි.

READ:   අද වැස්ස මි.මී. 100 ඉක්මවයි

“අපිත් ශෝකය ප්‍රකාශ කරන්න ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යනවා.”

මේ වන විට පුද්ගලයින් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර CCTV දර්ශන ඔස්සේ තවත් සැකකරුවන් හඳුනා ගැනීමට නිලධාරීන් කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පන්ජාබ් ප්‍රධාන අමාත්‍යවරයාගේ ඩිජිටල් මාධ්‍ය ප්‍රධානී අසාර් මාෂ්වානි පැවසුවේ පළමු සැකකරු ඇතුළුව පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ප්‍රධාන සැකකරු

සිද්ධියේ පළමු සැකකරු බවට සැක කරන්නේ ෆර්හාන් නැමැත්තෙක්. පන්ජාබ් පොලිස්පතිවරයා පැවසුවේ, සිද්ධිය පිළිබඳ තොරතුරු පොලිසියට මුලින්ම ලැබුණේ පෙරවරු 11:26 ට බවත් නිලධාරීන් එම ස්ථානයට පෙරවරු 11:46 ට ළඟා වූ බවත්ය.

“අපි කරුණු විමර්ශනය කරමින් සිටිනවා, යම් ආකාරයක ප්‍රමාදයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව ද සොයා බලමින් සිටිනවා,” ඔහු පවසා සිටියා.

මේ අතර ජාත්‍යන්තර ජනමාධ්‍ය විශ්ලේෂක ආචාර්ය රංග කලන්සුරිය මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ කෙටි කාලයක් තුළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ යුහුසුළු වීම කැපී පෙනෙන කටයුත්තක් බවයි. මෙම සිද්ධියේ දී පාකිස්ථාන රජය කටයුතු කළ ආකාරය අගය කළ යුතු බව ඔහුගේ අදහසයි. එරට අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව පෞද්ගලිකව මෙයට මැදිහත් වූ බව ද ආචාර්ය රංග කලන්සුරිය සිහිපත් කරනවා. කෙසේ නමුත් මෙය ශ්‍රී ලංකික බෞද්ධයෙකු එල්ල කරමින් වූ ප්‍රහාරයක් ලෙස වැරදියට අර්ථකථනය කළ යුතු නොමැති බව ඔහු අවධාරණය කරනවා. තමන්ගේ ආගමික ඇදහීමට එරෙහි වන ඕනෑම අයෙකු ඝාතනය කිරීමට පෙළඹෙන්නා වූ නරක රැල්ලක් ඇතැම් කොටස් තුළ සියුම්ව ගොඩ නැගී ඇති බව ඔහු පෙන්වා දෙනවා. එම තත්ත්වය විග්‍රහ කරන ආචාර්ය කලන්සූරිය සඳහන් කළේ එය නිකායික වශයෙන් පවතින තත්ත්වයක් බව ද අප සැළකිල්ලට ගත යුතු බවයි. දශකයක් තුළ සියයකට අධික පිරිසක් මෙම පටු සංකල්පයේ ගොදුරු බවට පත්ව ඇති බව හෙතෙම උපුටා දැක්වූ අතර එහි හොඳම උදාහරණයක් ලෙස පන්ජාබයේ හිටපු මහ ඇමතිවරයෙකුගේ ඝාතනය ගෙන දක්වා සිටියා.

ආචාර්ය රංග කලන්සුරිය

කෙසේ වෙතත් මෙම සිද්ධිය මත දෙරටේ දැඩි මිත්‍රත්වය පළුදු වීමට ඉඩ නොතැබිය යුතු බව ජාත්‍යන්තර ජනමාධ්‍ය විශ්ලේෂක ආචාර්ය රංග කලන්සුරිය අවධාරණය කළා. හෙතෙම පවසන්නේ එම ස්ථාවරයේ සිට එරට අග්‍රාමාත්‍යවරයා ද කටයුතු කරන බව පෙනෙන්නට ඇති බවයි.

වාර්තාව – ඉසුරුලත් අමරසේකර

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්