හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නඩුවක් විභාග වන අවස්ථාවේ දී විත්ති කූඩුවට නොනැගීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් දැඩිව අවවාද සිදුකර තිබෙනවා.
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව අද (27) කැඳවා තිබුණා.
එහිදී හිටපු ජනාධිපතිවරයා විත්තිකූඩුවට නැගීමකින් තොරව ඉන් පිටත රැදී සිට ඇති අතර පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ රෙයෙන්සි අර්සකුලරත්න ඊට සිය විරෝධය දක්වා ඇති බව වාර්තා වෙනවා.
සිය සේවාදායකයාට පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්ති කූඩුව වෙත නැගීමක් සිදු නොකළ බව හිටපු ජනපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණයට ප්‍රකාශ කර තිබෙනවා.
අභියාචනා අධිකරණය විසින් නියෝග කර ඇත්තේ සැකකරුට චෝදනා පත්‍රය කියවා දී නඩුවේ ඉදිරි කටයුතු යළිත් අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලැබෙන තුරු වැළැක්වීමක් මිස ඔහුට විත්ති කූඩුවට නොනගින ලෙස නියෝගයක් නොවන බව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අවධාරණය කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා ඉන් පසුව විත්ති කූඩුවට නැගීම සිදු කර ඇති අතර නඩුව මාර්තු 17 වනදා යළි කැඳවීමට නියමිතයි.


