ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවගේ සදා අමරණීය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහා නායක මැණික්හින්න, හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙනෙහි විහාරාධිපති නාපානේ පේමසිරි නාහිමිගේ අපවත්වීම ඇසු සැණින් මා ඉමහත් සංවේගයටත්, කම්පාවටත් පත් වුණෙමි.
පුරා වර්ෂ 98ක් ආයූ වළඳා 2020 නොවැම්බර් මස 17 වැනි දින අපවත් වන්නට යෙදුණු අප නාහිමියන් වහන්සේ දෙස් විදෙස් ධර්මදූත මෙහෙවරෙහි යෙදී බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන් අනූපමේය සේවාවක් සිදු කළ යතිවරයාණන් වහන්සේ නමකි. 1923 වර්ෂයේ මධ්‍යම පළාතේ ඓතිහාසික කන්ද උඩරට මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර උඩගම්පහ කෝරළයේ උඩගම්පහ නාපාන ග්‍රාමයේ ප්‍රභූ පවුලකින් පැවත එන ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර ටිකිරි බණ්ඩා නිලමේතුමන්ට සහ නියංගොඩ හිටිබණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ යුවළට දාව ජනවාරි මස 20 වැනි දින පවුලේ 07 වන දරුවා ලෙස උපන් ඒකනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා උන්වහන්සේගේ ගිහි නාමයයි. උපන්දා සිටම ආගම දහමට ලැදි ටිකිරි බණ්ඩා කුල කුමරුවන් පෙර කළ කුසල කර්මයන්ගේ මහිමයෙන් 1933 වර්ෂයේ ජුලි මස 08 වැනි දින හුරීකඩුව දුම්බරාරාමයේ දී නාපානේ පේමසිරි නමින් පැවිදි දිවියට ඇතුළු වූහ.
වැල්ලවත්තේ ධර්මෝදය පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේ නමකට අවැසි සියලු ගුණාංගවලින් හෙබි අප මහ නාහිමියෝ උසස් අධ්‍යාපන කටයුතු නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනෙන් සිදු කළහ. එහිදී රාජකීය පණ්ඩිත විනයාචාර්ය සහ විනය විශාරද ආදී උපාධින්ගෙන් පිදුම් ලද නාපානේ පේමසිරි මා හිමියන් වහන්සේ එතැන් පටන් ආගමික සහ සමාජීය මෙහෙවර උදෙසා සිය ශාසනික දිවිය කැප කිරීම ශ්‍රී ලංකාවාසී බෞද්ධයන් ලෙස අප ඉමහත් භක්තියෙන් සිහිකළයුතුය.
තමන් වහන්සේ උගත් ශිල්පය සහ ධර්මය හුදෙක් ධර්මදානය පිණිසම සෑමවිටම කැපකළ උන්වහන්සේ කැටවල ශ්‍රී ජීනේන්ද්‍රාරාමයේ ආරම්භ කළ ශ්‍රී විද්‍යාලෝක පිරිවෙණෙහි පරිවේණාධිපති ධූරය හොබවමින් දේශහිතෛෂී උගත් බුද්ධිමත් ගිහි පැවිදි සිසු පිරිසක් ශ්‍රී ලංකා දේශයටත් සසුනටත් දායාද කිරීමට කටයුතු කළහ. එසේම හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙණෙහි නිර්මාතෘවරයා සහ ප්‍රථම පරිවේණාධිපතිවරයා ලෙස බෞද්ධ අධ්‍යපනය නගා සිටුවීම වස් අප මාහිමියන් වහන්සේගෙන් සිදු වූ මෙහෙවර මෙතෙකැයි කිව නොහැකිය.

දේශිය වශයෙන් නොව අන්තර්ජාතික වශයෙන්ද ධර්ම චාරිකාවේ යෙදෙමින් ලෝකවාසී බෞද්ධ ජනතාව වෙත ධර්මයේ ඇති මහාභානුසම්පන්න බව විද්‍යාමාන කරමින් සිංගප්පූරුව, ඕස්ට්‍රියාව, එංගලන්තය සහ ඉන්දියාව ඇතුළු රටවල පැවති බොදු සමුළු නියෝජනය කරමින් කළ ධර්ම ධූත සේවාව ඇගයීම වස් බුරුම රජය විසින් පිරිනැමූ අග්ගමහ පණ්ඩිත උපාධියත්, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් ආයතනය විසින් පිරිනැමුණු ස්ථිවිරවංශාලංකාර ශාසනකීර්ති යන ගෞරව උපාධි පිරිනැමීම ආදිය දැක්විය හැකිය. එයින් නොනැවතුණු උන් වහන්සේ තම උපන් ගම වෙනුවෙන්ද බොහෝ ශාසනික සහ සමාජීය මෙහෙවර කළහ . කඳුරට භික්ෂූ සංගමය සහ කුණ්ඩසාල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සහාපතිත්වය දරමින් තරුණ තරුණියන් ආගම දහමට නැඹුරු කිරීමත්, ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා උදෙසා විශාල කැප කිරීම් රාශියක් කළහ.
අල්පේච්ඡ දිවිපෙවෙතක් ගත කළ අප නාපානේ පේමසිරි නාහිමියෝ රටට අවැඩක් සිදු වන සෑමවිටම සෘජු අදහස් ප්‍රකාශ කරමින් නැගි සිටිම සිංහල බෞද්ධයන් වශයෙන් අප සැම ලැබු මහත් අස්වැසිල්ලක් විය. මා මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරය හෙබ වූ කාලයේදී මා ළඟින්ම ඇසුරු කළ උන්වහන්සේ සෑමවිටම මට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කළහ.
පුරා වසර 82 පුරාවට ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනී ජනයාට ධර්මානුසාරයෙන් සිත් සුවපත් කරමින් අපවත් වී වදාළ අප නාපානේ පේමසිරි මහනායක හිමිපාණන් වහන්සේගෙන් සිදු වූ සමාජ සහ ශාසනික මෙහෙවර මෙසේ ලියා නිම කළ නොහැකිය. උන් වහන්සේ නොමැති අඩුව ශ්‍රී ලංකා ජන සමාජයට අදට වඩා හෙට වැඩි වශයෙන් දැනෙනු ඇතැයි මා විශ්වාස කරමි. ලෝක ධර්මතාවයට අනුගත වීමට අප සැමට සිදු වේ. එය පසක් කරමින් අපවත් වී වදාළ අප මහනාහිමියන් වහන්සේගේ ඥාතී හිතමිත්‍රාදීන්ටත් උන් වහන්සේ වැඩසිටි විහාරාස්ථානයේ උන්වහන්සේගේ ගෝල හිමිවරුන්ටත් මාගේ සාතිශය සංවේගය පළකර සිටින අතර උන්වහන්සේ අපේක්ෂා කරන උතුම් වූ නිර්වාණ සම්පත් අත්වේවායි ප්‍රාර්ථනා කරමි.
ටිකිරි කොබ්බෑකඩුව
සබරගමු පළාත් ආණ්ඩුකාර


