file
චමීර ඇල්ලදෙණිය
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන ආදායම ඉහළ නැංවීම, නව රැකියා උත්පාදනය සහ ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම අරමුණු කරගත් තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය (Ceylon King Coconut Villages) හෙට (02) ආරම්භ වේ. මෙම ජාතික වැඩපිළිවෙළේ ප්‍රධාන සමාරම්භක උත්සවය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මාකඳුර ප්‍රදේශයේදී පැවැත්වෙන අතර, මේ යටතේ හෙට (02) තැඹිලි ගම්මාන 20කට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට නියමිතය.
ලෝක පොල් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයේ සංවර්ධනය, ඵලදායිතාව සහ අපනයන හැකියාව ඉහළ නැංවීමේ අරමුණින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟින් මේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. “Ceylon King Coconut Villages” යනුවෙන් නම් කර ඇති මෙම ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමට නියමිතය.
මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (31) පැවති අතර, එහිදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේ එළඹෙන ජාත්‍යන්තර පොල් දිනය නිමිත්තෙන් හෙට (02) සිට මේ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමට සැලසුම් කළ බවයි. පළමු අදියර යටතේ 2026 මෙම වසරේදී ගම්මාන 75ක් ආරම්භ කරන අතර, 2027 වසරේදී ගම්මාන 80ක් සහ 2028 වසරේදී අවසාන ගම්මාන 95ක් ආරම්භ කරමින් ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම කීවේය.
එහිදී ඒ මහතා මෙසේද කීවේය:
“ලෝකයේ රසායනික පාන වර්ග වෙනුවට ස්වාභාවික පාන වර්ග සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතිනවා. වාර්ෂිකව ලෝකයේ පොල් ආශ්‍රිත පාන වර්ගවල වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 5.11ත් 7ත් අතර ප්‍රමාණයක දෝලනය වන අතර, ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි සඳහා එහි සුවිශේෂී ඉල්ලුමක් පවතිනවා. 2024 වසරේදී තැඹිලි ගෙඩි මිලියන 8ක් අපනයනය කර ඩොලර් මිලියන 6.75ක ආදායමක් උපයා ඇති අතර, 2025 වසරේදී එය ගෙඩි මිලියන 9.83ක් සහ ඩොලර් මිලියන 8.48ක ආදායමක් දක්වා වර්ධනය කර ගැනීමට අප සමත් වුණා. මෙම නව ව්‍යාපෘතිය හරහා 2030 වසර වන විට අපනයනය කෙරෙන තැඹිලි ප්‍රමාණය ගෙඩි මිලියන 25 දක්වා ඉහළ නංවා, අපනයන ආදායම ඩොලර් මිලියන 30 දක්වා වැඩි කර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා දැනට වැඩිම ඉල්ලුමක් පවතින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඕමාන්, කුවේට්, ජපානය, ප්‍රංසය, මාලදිවයින, එක්සත් රාජධානිය සහ ජර්මනිය වැනි රටවලටයි. නව ව්‍යාපෘතිය යටතේ එක් ගම්මානයක අවම වශයෙන් තැඹිලි පැළ 500ත් 1000ත් අතර ප්‍රමාණයක් රජයේ සහභාගිත්වයෙන් වගා කිරීමට සැලසුම් කර තිබෙනවා. සාමාන්‍ය වෙළෙඳපොළේ රුපියල් 750ක් වන තැඹිලි පැළයක් ගොවීන් වෙත ලබා දෙන්නේ රුපියල් 150ක සහනදායි මිලකටයි. ඉතිරි රුපියල් 600ක මුදල අමාත්‍යාංශය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් දරනු ලබනවා. මීට අමතරව වගාවේ ජල සම්පාදන කටයුතු වෙනුවෙන් අක්කරයකට රුපියල් 5,000ක මූල්‍ය ආධාරයක්ද, අවශ්‍ය තාක්ෂණික දැනුම සහ අඛණ්ඩ අධීක්ෂණයද ලබා දීමට සැලසුම් කර තිබෙනවා. නව වගාවන්ට අමතරව දැනට දිවයින පුරා පවතින පැරණි තැඹිලි ගස් 212,500ක් පුනරුත්ථාපනය කිරීමට හඳුනාගෙන ඇති අතර, ඒවායේ පොහොර සහනාධාරය ලෙස එක් ගසකට රුපියල් 700ක මුදලක් ලබා දීමට රජය පියවර ගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් තැඹිලි ගසකින් වසරකට ලැබෙන්නේ ගෙඩි 90ක පමණ අස්වැන්නක් වුවද, නිසි පොහොර සහ ජල සම්පාදනය මඟින් එය ගෙඩි 200, 250 සහ 300 දක්වා ඉහළ නැංවිය හැකියි. දැනට අපනයනකරුවන් විසින් ගොවීන්ගෙන් තැඹිලි ගෙඩියක් රුපියල් 160ක් වැනි ඉහළ මිලකට මිල දී ගන්නා බැවින්, ගොවි ජනතාවට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට මෙමඟින් කදිම අවස්ථාවක් උදා වේවි.”
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය කේ.ඒ.ඩී.ජේ.එස්.කේ. ජයකොඩි, පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර සහ පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග යන මහත්වරුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
චමීර ඇල්ලදෙණිය
උපුටාගැනීම:දිනමිණ
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…