“අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත” – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස.

කොළඹ වරාය හරහා මෙරටට ඇතුළුවිය හැකි මහජන සෞඛ්‍ය අවදානම් කල්තියා හඳුනාගෙන ඒවා වළක්වා ගැනීම, බෝවන රෝග නිරීක්ෂණය, හදිසි සෞඛ්‍ය අවස්ථාවන්ට කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූල දේශසීමා සෞඛ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් අලුතින් ඉදිකරන ලද නව පස්මහල් කොළඹ වරාය සෞඛ්‍ය කාර්යාලය (Port Health Office) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (28) නිල වශයෙන් විවෘත කෙරිණි.
කොළඹ වරායේ සෞඛ්‍ය පරීක්ෂණ, රෝග නිරීක්ෂණ, නීරෝධායන කටයුතු සහ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවන්හිදී ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම නව කාර්යාල සංකීර්ණය ඉදිකර තිබේ. ජාත්‍යන්තර නෞකා පරීක්ෂා කිරීම, Free Pratique අවසරපත් සහ Ship Sanitation Certificates නිකුත් කිරීම, රෝග නිරීක්ෂණ හා වාහක පාලන (Vector Control) වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවන්හි සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම ද මෙම කාර්යාලයේ ප්‍රධාන කාර්යභාරයන් අතර වේ.
මෙම නව වරාය සෞඛ්‍ය කාර්යාලය ජපාන රජයේ මූල්‍ය අනුග්‍රහය යටතේ, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් ක්‍රියාත්මක කරන ලද “නිරිතදිග ආසියාවේ බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා වූ දේශසීමා පාලන ධාරිතාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය” යටතේ ඉදිකර ඇති අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 168 කට අධික වටිනාකමකින් යුත් ආයෝජනයකි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, වරාය ආශ්‍රිත සෞඛ්‍ය හා නීරෝධායන සේවාවන් සඳහා ඉදිකරන ලද මෙම නව කාර්යාල සංකීර්ණය අදට වඩා අනාගතයේදී වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන ආයෝජනයක් බවයි.
ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික අර්බුදයෙන් මිදී ස්ථාවර ආර්ථික වර්ධනයක් කරා ගමන් කරමින් සිටින අතර, එම ගමන්මඟේදී වරාය පද්ධතිය රටේ ආර්ථිකයේ ප්‍රධාන දොරටුවක් ලෙස සුවිශේෂී වගකීමක් ඉටු කරන බව අමාත්‍යවරයා පැවසීය. එබැවින් වරාය ආශ්‍රිත සෞඛ්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීම යනු මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම පමණක් නොව, රටේ ආර්ථික සුරක්ෂිතභාවයද තහවුරු කිරීමක් බවද හෙතෙම අවධාරණය කළේය.
සියවසකට අධික ඉතිහාසයකට හිමිකම් කියන වරාය සෞඛ්‍ය සේවාවේ වැදගත්කම ඉදිරි දශකයන්හි තවදුරටත් ඉහළ යනු ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, කොළඹ, හම්බන්තොට, ගාල්ල, කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය වරායන්හි සෞඛ්‍ය හා නීරෝධායන සේවාවන් වඩාත් කාර්යක්ෂම හා විධිමත්ව පවත්වාගෙන යාම සඳහා මෙම නව පහසුකම් විශාල ශක්තියක් වන බව සඳහන් කළේය. එමෙන්ම වරාය සෞඛ්‍ය සේවාවේ නිරත කාර්ය මණ්ඩලයට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව උසස් තත්ත්වයේ සේවාවක් සැපයීමට අවශ්‍ය යටිතල පහසුකම් මෙමඟින් තවදුරටත් ශක්තිමත් වන බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා මූල්‍ය හා තාක්ෂණික දායකත්වය ලබාදුන් ජපාන රජයට, ජපාන ජනතාවට සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) වෙත සිය කෘතඥතාව පළ කළ අමාත්‍යවරයා, වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව ජපානය සමඟ සංවර්ධන සහයෝගීතාව නව පියවර කිහිපයකින් ඉදිරියට ගෙන යාමට හැකි වූ බවත්, දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය හා සංවර්ධන හවුල්කාරිත්වය ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට විශ්වාසය පළ කළේය.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ, මීට වසර තුනහමාරකට පමණ පෙර ජපාන රජයේ මූල්‍ය අනුග්‍රහය යටතේ, ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) සමඟ සමීප සහයෝගීතාවයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි.
මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් නායකත්වය, මඟපෙන්වීම සහ නොසැලෙන සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයාට, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාට මෙන්ම අදාළ සියලුම ශ්‍රී ලාංකික රාජ්‍ය ආයතන වෙත සිය ගැඹුරු කෘතඥතාව පළ කරන බව ද තානාපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීමත්, තිරසාර ආර්ථික වර්ධනයත් සඳහා සංචාරක කර්මාන්තය සහ සමුද්‍රීය වෙළෙඳාම අත්‍යවශ්‍ය ආර්ථික පදනම් දෙකක් බව පෙන්වා දුන් තානාපතිවරයා, ජාත්‍යන්තර සංචාරකයන්ගේ පැමිණීම සහ ගෝලීය වෙළෙඳ කටයුතු යළි වේගවත් වන මෙම වකවානුවේදී ගුවන් තොටුපළ හා වරාය වැනි රටේ ප්‍රධාන දේශසීමා පිවිසුම් ස්ථානවල මහජන සෞඛ්‍ය ආරක්ෂණ පද්ධති සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් ශක්තිමත් කිරීම ජාතික වැදගත්කමක් සහිත කාර්යයක් බව වැඩිදුරටත් අවධාරණය කරඩ සිටියේය.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) මෙහෙයුම් ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ මහත්මිය සිය අදහස් දක්වමින් සඳහන් කළේ, කොළඹ වරායේ නව වරාය සෞඛ්‍ය කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීම ශ්‍රී ලංකාවේ දේශසීමා සෞඛ්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බවයි.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය, ජපාන රජය සහ IOM සංවිධානය අතර පවතින ශක්තිමත් හවුල්කාරිත්වයේ සාර්ථක ප්‍රතිඵලයක් බව පෙන්වා දුන් ඇය, නව ගොඩනැගිල්ල මඟින් වරාය සෞඛ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂම, නවීන හා ප්‍රතිචාරාත්මක සේවාවක් බවට පත් කිරීමට හැකි වනු ඇති බවද සඳහන් කළාය.
එමෙන්ම, ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි (International Health Regulations – IHR) ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම, දේශසීමා ඔස්සේ සෞඛ්‍ය අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරීම සහ මහජන සෞඛ්‍ය ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා මෙම පහසුකම සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනු ඇති බවද ඇය අවධාරණය කළාය.
ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව සහ හදිසි සෞඛ්‍ය තත්ත්වයන්ට සූදානම් වීමේ ධාරිතාව වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කිරීමට IOM සංවිධානය කැපවී සිටින බවද ක්‍රිස්ටින් පාර්කෝ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාද මෙහි දී අදහස් පලකර සිටියේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) මෙහෙයුම් ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආනල්ඩ්, වරාය සෞඛ්‍ය කාර්යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී එස්. ඒ. එස්. මහීපාල, අධ්‍යක්ෂක නිරෝධායන, වෛද්‍ය යසෝමා වීරසේකර, හිටපු ප්‍රධාන වරාය සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය ආර්.කේ.එස්. විජේසිංහ, හාබර් මාස්ටර් කැප්ටන් ලක්ෂි වසන්ත, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහකාර කළමණාකරණ අධ්‍යක්ෂ නලින් අපෝන්සු යන මහත්ම මහත්මින් ඇතුළු ජපාන තානාපති කාර්යාලය, IOM සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කළ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.


