Categories: දේශීය

වසර 90ක් සපිරූ සිලෝන් මුවර් කාන්තා සංගමයට අගමැතිගෙන් උපහාර – මුස්ලිම් කාන්තාවන්ගේ උරුමය ජාතික ඉතිහාසයට එක් කළ යුතු බව අවධාරණය

කොළඹ, ජූලි 18 – ශ්‍රී ලංකාවේ පැරණිතම මුස්ලිම් කාන්තා සංවිධානවලින් එකක් වන සිලෝන් මුවර් කාන්තා සංගමය (Ceylon Moor Ladies’ Union – CMLU) සිය 90 වැනි සංවත්සරය සමරමින් පැවැත්වූ උත්සවයේදී, මුස්ලිම් කාන්තාවන්ගේ පුරෝගාමී දායකත්වය ශ්‍රී ලංකාවේ ජාතික ඉතිහාසයේ අනිවාර්ය කොටසක් ලෙස පිළිගත යුතු බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උත්සවයට එක් වූ අගමැතිවරිය, 1936 වසරේදී CMLU ආරම්භ කළ මුස්ලිම් කාන්තාවන් 11 දෙනාගේ දූරදර්ශී නායකත්වය අගය කළාය. එම කාලයේ මුස්ලිම් ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රමාණවත් අවධානයක් නොලැබුණු අවස්ථාවක ඔවුන් ගත් පියවර සමාජ පරිවර්තනයකට මග පෑ බව ඇය සඳහන් කළාය.

1941 වසරේ Muslim Ladies’ College ආරම්භ කිරීම සඳහා නිර්මාතෘවරියන් නිවසින් නිවසට ගොස් දෙමාපියන් දැනුවත් කරමින් ගැහැණු දරුවන් පාසල් යැවීමට උනන්දු කළ බව සිහිපත් කළ අගමැතිවරිය, එම උත්සාහය මුස්ලිම් කාන්තා අධ්‍යාපනයේ නව යුගයක් ආරම්භ කළ බව පැවසුවාය.

“මෙය එක් පාසලක කතාවක් පමණක් නොවෙයි. කාන්තාවන් එකමුතු වූ විට සමාජය වෙනස් කළ හැකි ආකාරය පෙන්වන කතාවක්. එය අපේ ජාතික ඉතිහාසයේ කොටසක් විය යුතුයි,” යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.

අද වන විට මුස්ලිම් කාන්තාවන් අධ්‍යාපනය, වෘත්තීය සහ නායකත්ව ක්ෂේත්‍ර රැසක සාර්ථකත්වය අත්කරගෙන ඇති බවත්, එම ජයග්‍රහණවල පදනම තැබුවේ පෙර පරම්පරාවේ කාන්තාවන් බවත් අගමැතිවරිය සඳහන් කළාය.

එමෙන්ම මුස්ලිම් කාන්තාවන්ගේ නායකත්වය හා සමාජ දායකත්වය පිළිබඳ ඉතිහාසය පර්යේෂකයන් සහ විද්වතුන් විසින් ලේඛනගත කළ යුතු බවද ඇය අවධාරණය කළාය.

අවදානමට ලක්වූ සහ අසරණ ගැහැණු දරුවන් සඳහා ආරක්ෂිත නවාතැන් සපයන CMLU Home for Girls ආයතනය වසර ගණනාවක් පුරා ඉටු කරන සේවාවද අගමැතිවරියගේ ඇගයීමට ලක්විය.

රජය මේ වන විට කාන්තාවන් හා ළමුන් සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහන් ශක්තිමත් කරමින්, ප්‍රචණ්ඩත්වයෙන් පලා යන කාන්තාවන් සඳහා තාවකාලික නවාතැන් පහසුකම් පුළුල් කිරීමට කටයුතු කරන බවද ඇය පැවසුවාය.

එමෙන්ම, ළමා නිවාසවල සිටින දරුවන්ට පෙර තිබූ වයස් සීමාව වන අවුරුදු 18 වෙනුවට, අවුරුදු 21 දක්වා එහි රැඳී සිටීමට අවසර ලබාදීමට රජය තීරණය කර ඇති බවද ඇය අනාවරණය කළාය. ඔවුන්ගේ ස්වාධීන ජීවිතයට පිවිසීම සඳහා නිවාස, ජීවනෝපාය සහ ඉතිරි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද සඳහන් කළාය.

මෙම සංවත්සර උත්සවයට CMLU හි හිටපු සහ වත්මන් සාමාජිකයන්, සම්භාවනීය අමුත්තන් සහ CMLU Home for Girls හි දරුවන් එක්ව සිටියහ.

90 වැනි සංවත්සර කමිටුවේ සභාපතිනි ෂහානා රාජි පිළිගැනීමේ කතාව පැවැත්වූ අතර, CMLU සභාපතිනි ෆාහීමා මැකන් මාකර් සංගමයේ වසර 90ක ගමන්මඟ පිළිබඳ අදහස් දැක්වූවාය.

එහිදී “Down Memory Lane” නමැති වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කළ අතර, සංවත්සර සමරු කලාපයද එළිදැක්විණි.

දිගුකාලීන සේවය වෙනුවෙන් ෆවුසිලිලා මොහීඩීන් සහ සාහිරා අතස් යන මහත්මීන් සම්මානයට පාත්‍ර වූ අතර, CMLU Home for Girls හි හිටපු නිවාසිකාවක වන, වර්තමානයේ එහි සහකාර කළමනාකාරිනිය ලෙස සේවය කරන සල්මා සහරා නිසාර් මහත්මියද මානව සම්පත්, උපදේශනය සහ ළමා මනෝවිද්‍යාව යන ක්ෂේත්‍රවල ලබා ඇති සුදුසුකම් සහ කැපවීම වෙනුවෙන් ඇගයීමට ලක්විය.

1936 වසරේ මුස්ලිම් කාන්තාවන් 11 දෙනෙකු විසින් ආරම්භ කරන ලද CMLU, මුස්ලිම් කාන්තාවන්ගේ අධ්‍යාපනය, සුබසාධනය සහ සවිබල ගැන්වීම වෙනුවෙන් දශක නවයකට ආසන්න කාලයක් පුරා කැපවී සිටින ස්වේච්ඡා සංවිධානයකි.

Recent Posts

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

2 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

2 days ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

2 days ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

3 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

3 days ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

3 days ago