දේශීය

මහතීර් මොහොමඩ් වගේ කිව්ව නායකයො රට දාලා යද්දි දැක්මක් ඇති නායකයා වැඩ කර පෙන්වා අවසන්-මනූෂ

මහතීර් මොහොමඩ් වැනි නායකයින්ට සමාන කළ නායකයින් රට අතහැර පලා යද්දී ‘වැඩ බෑ’ යැයි සැවොම කී මිනිසා මෙරට දැක්මක් ඇති නායකයා තමන් බව ඔප්පු කර අවසන් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (17) පොළොන්නරුවේදී පැවැත්වුණු ‘ජයගමු ශ්‍රී ලංකා – ස්මාට් යූත් ක්ලබ්’ වැඩසටහනට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන් මාලාවේ පුලතිසිපුරවරයට සම්ප්‍රාප්ත වීමේ වැඩසටහන ඊයේ (16) ආරම්භ කෙරුණු අතර එයට සමගාමීව ‘පොළොන්නරුවට ස්මාට් හෙටක් ස්මාට් වැඩ්ඩන් සමගින් – ස්මාට් යූත් ක්ලබ්’ වැඩසටහන අද පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
අමාත්‍යවරයා එම අවස්ථාවට සහභාගි වූ තරුණ තරුණයින් අමතමින් මෙසේ පැවසීය.

“අපිට ගෑස්, තෙල් තිබුණෙ නැති වෙලාවෙ පවුලෙ අය තමයි අපිට එආවා ගන්න සල්ලි එව්වේ. අපි දැක්කා තාත්තා කෙනෙක් මැරිලා තිබුණා බෙහෙත් ගන්න නැතුව. මේ වගේ කී දෙනෙක්ගේ පවුල්වල අය නැති වෙලා ඇද්ද බෙහෙත් ටික ගන්න බැරුව. මේවා අපි අසුබවාදීව හිතාගෙන හිටියොත් අපිට ගොඩ එන්න බෑ. මෙතන විදේශ සේවා නියුක්තිය ගැන කතා කරන්න විදේශ රැකියා ආයතන රාශියක් ඇවිත් තිබෙනවා. වැරදි විදිහට රට ගියොත් අතරමං වෙනවා.
ලෝකයේ ශිෂ්ඨාචාරය ගොඩනැගෙන්නේ තැන්නෙන්. නමුත්, අපි ගොඩනැගෙන්න පටන්ගන්නේ කන්දෙන්. කන්දෙන් තමයි අපි තැනිතලාවට එන්නේ. බලංගොඩ මානවයාගෙන් පටන්ගෙන අනුරාධපුරයේ තැනිතලාවට ඇවිල්ලා එතනින් පොළොන්නරුව, සීගිරියට ඇවිත් වටිනා වාරි සංස්කෘතිය හැදුවා. හැබැයි එතනදි කිව්වෙ ධාතුසේන රජ්ජුරුවන්ව කාශ්‍යප මැරුවා කියලා. අදටත් දන්නේ නෑ මැරුවේ කාශ්‍යපද කියලා. නමුත්, අදටත් රටට ඩොලර් හම්බ වෙන සීගිරිය, එතන තියෙන ශිෂ්ඨාචාරය, වාරි කර්මාන්තය හැදුවේ කාශ්‍යප රජතුමා. එහෙම හොඳ දේවල් කරන අය ඉතිහාසය විසින් සමහර වෙලාවට මරනවා. පොළොන්නරුවට එනකොට පුලතිසි ඝෘෂිවරයා, පරාක්‍රමබාහු රජ්ජුරුවෝ පරාක්‍රමබාහු සමුද්‍රය හදලා, දැවැන්ත වාරි කර්මාන්තයක් හදලා වැඩ පටන්ගන්නවා. සැතැපුමට අඟලේ තාක්ෂණයෙන් යෝධ ඇලේ සංස්කෘතිය දක්වා ආවා. එතැන ඉඳලා ඩී.එස්. යුගයට එද්දි කිව්වා ‘පොල් ගෙඩි වගේ මදුරුවන්ට’ කන්න දීල මිනිසුන්ට මැලේරියා හදන්න තමයි හදන්නේ කියලා. ගල් ඔය ව්‍යාපාරය පටන් අරන්, මේවා ගොවි ජනපද කරලා, අද රට සශ්‍රීකත්වයට, සහලින් ස්වයංපෝෂිත කරන තත්ත්වයට පත් කරන්න මූලිකත්වය ගත්තේ ඩී.එස්. මැතිතුමා. ඒ – ඒ කාලේ කිව්ව කතාව. දැනුත් එහෙම කතා හදනවා. ගිය අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට ඩොලර් එක රුපියල් පන්සීයට යනවා කිව්වා. එහෙම වුණාද? ඩී.එස්. ගොවි ජනපද ව්‍යාපාරය හදනකොට ඒ කියපු බොරුවලට අහු වෙලා එදා ආපස්සට ගියා නම් කෝ අද සහලින් පෝෂිත රටක්?
ඉස්සර අපි ඉර විශ්වාස කළේ දෙවියෙක් කියලා. එහෙම කල්පනා කරලා ඉරට වැන්දා. ඒ මොහොතේ ග්‍රීසියේ විසූ ඇනෙක්ස්කෝරස් දාර්ශනිකයා තමයි කිව්වේ ඉර කියන්නේ ගිනි ගෙන දැවෙන වස්තුවක් කියලා. ‘කලහාරි’ කාන්තාරයේ මිනිසුන් තවමත් හිතාගෙන ඉන්නේ ලෝකය තවමත් පැතලියි කියලා. ලෝකයේ තව ග්‍රහලෝක තියෙනවා කියලා හොයාගෙන තියෙන ඒවා ආයෙ කල්පනා කළොත් මේවා මත විතරයි. බුදු හාමුදුරුවෝ දේශනා කළේ දුක, දුක නැති කිරීමේ මාර්ගය ගැන කල්පනා කරන්න කියලා, ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ ප්‍රේමය මතයි ලෝකය පවතින්නේ කියලා. ඉස්ලාම් බැතිමතුන් හිතනවා අල්ලා කෙරෙහි විශ්වාසය තියන්න කියලා. විද්‍යාව කියනවා අවකාශය සහ ගුරුත්වය මතයි ලෝකය නිර්මාණය වෙන්නේ කියලා. කොයි මතයද හරි. මේ සියල්ල මත. පැසිස්ට්වාදයට අනුව රාජ්‍ය බලය හා පක්ෂපාතීත්වය මතයි දේශපාලනය පවතින්නේ. ජාතිය, ආගම මත හිඳගෙන, ආගම කොන් කර, තමන්ගේ ජාතිය විතරයි ඉන්න ඕන කියන එක ජාතිවාදය. මතවලට රටවලට බලපෑම් කරන්න පුළුවන්. ඉස්සර ගින්දර, කුරුල්ලො මගින් පණිවිඩ යවලා ජනමාධ්‍ය ඇවිල්ලා දැන් සමාජ මාධ්‍යයට ‘ඇඩ්වටයිසින්’ කියන එක ඇවිල්ලා. අපිට සෙරෙප්පු, සබන් කුඩු, බැංකුව ගැන බ්‍රෑන්ඩ් එක ඔළුවට දීලා තියෙන්නේ. සුදු වෙන්න ක්‍රීම් ගාන්නේ හොඳම එක නෙවෙයි. ඇඩ්වටයිස් කරන බ්‍රෑන්ඩ් එක. බහු ජාතික සමාගම් ආසනික් පොවනවා අම්මගෙ ආදරේ කියලා ඇඩ් එක පෙන්නලා. නවසීලන්තයෙ කිරි අම්මගේ ආදරේ එක්ක දෙනවා කියනවා. රෙදි හෝදන්න දෙන කුඩු අපි දන්නේ නෑ. තමන් බ්‍රෑන්ඩ් විදිහට හඳුනවන නරක දේ පුද්ගලයො විදිහට හැදුවොත් මොකද වෙන්නේ?
රනිල් වික්‍රමසිංහ මහත්තයට සින්දුවකට තනියම අත්පුඩි ගහන්න බෑ කිව්වා, කලිසම හරියට අඳින්න බෑ කිව්වා. ඒකෙන් කළේ රනිල් වික්‍රමසිංහ බ්‍රෑන්ඩ් එක වැට්ටවීම. නමුත්, බෑ බෑ කියලා මිනිස්සු තනතුරු දාලා යද්දි, රට භාරගන්න බෑ කියද්දි, අමරකීර්ති මන්ත්‍රීතුමා මරලා දාද්දි, ගෙවල් ගිනි තියද්දි, මේ ‘බෑ’ කිව්ව බ්‍රෑන්ඩ් එක අවුරුදු එකහමාරක් ඇතුළෙ රට හැදුවා. රට ක්‍රමානුකූලව හදන සැලැස්ම හැදුවා. වැට් එක ලබන මාසෙ ඉඳලා සියයට 15ට වැට් එක අඩු කරනවා. පේඊ ටැක්ස් එක ක්‍රමානුකූලව අඩු කරනවා. අපි ආවම රට හදනවා කියන අයට ඒක බෑ. අද බෑ කියලා කිව්වට රට භාරගෙන රට හදපු, දැක්මක් ඇති නායකයා රනිල් වික්‍රමසිංහ කියලා ඔහු ඔප්පු කෙරුවා. හැබැයි බ්‍රෑන්ඩ් එක හැදුවෙ රනිල්ට බෑ කියලා. මීට කලින් පුළුවන් කියලා නායකයෙක් ගෙනාව. අපි උදව් කළා. හිට්ලර්, මහතීර් මොහොමඩ් වගේ කිව්වා. අන්තිමේ ආර්ථික වශයෙන් වැරදි තීන්දු අරගෙන අපිටත් මූණ දෙන්න බැරි තැනට පත් කෙරුවා. ඡන්දෙ දුන්න සමහරු දැන් ලැජ්ජාවට ඔය සේරම එකයි කියලා ඉන්නවා. තවත් රැවටෙන්නයි හදන්නේ. බ්‍රෑන්ඩ් හදන මත උඩ අපි ගත්ත තීරණ කල්පනා කරලා බලන්න. ඒ වගේම මත හදලා මේ රට ආයෙ ටෙස්ට් කරන්න ලංකාව තවදුරටත් මීයෝ දාලා පරීක්ෂා කරන ලැබ් එකක් නෙවෙයි. මතවලින් රැවටිලා හිටියොත් හැමදාම අපිට ලැබ් එකක් බවට මේ රට පවත්වාගෙන යන්න පුළුවන්. අපි ඒකයි හරි බ්‍රෑන්ඩ් එක තෝරගන්න ඕනේ.
මේ රටේ සතුට කියන්නේ අපිට හොයාගන්න තියෙන දෙයක්. මේ පොළොන්නරුවෙ කී දෙනෙක් නම් සංචාරකයො ඉන්නවද? සතුට හොයාගන්න ඕන පුංචි දෙයකින්. පුංචි සමනලයකුගේ තටු ගැහීමකින් කුණාටුවක් ඇති කරන්න පුළුවන්. මම හිටපු දේශපාලන වේදිකාවක එක් ජනාධිතිවරයෙක් කිව්වා කෙනෙකුට සමනලයෙක් වගේ කියලා. අද ඒ නායකයා පැනලා යද්දි ඒ සමනලයා වගේ කිව්ව නායකයා මේ රට බේරගත්තා, ආරක්ෂා කෙරුණා. මේ රට ගොඩනැගුවා. අදත් අපිට පුංචි වෙනසකින් ජයගන්න පුළුවන්. මම – මගෙන් පටන්ගත්තොත් ඔබට වෙනස් වෙන්න පුළුවන්.
ජනාධිපතිතුමා එතුමාගෙන් පටන්ගත්තා. මම මගෙන් ආරම්භ කළා. අමාත්‍යාංශ ලේකම්වරුන් ඔවුන්ගෙන් ආරම්භ කළා. අපි ආරම්භ කරලා තියෙනවා මේ අරගලය ඉස්සරහට ගෙනියන්න. මේ තමයි සැබෑ ආර්ථික අරගලය. ඒ අරගලය ඉස්සරහට ගෙනියන්න අපි ආරම්භ කරලා තියෙනවා රාජ්‍ය තන්ත්‍රය විදිහට. රටේ දරුවනුත් මගෙන් පටන් ගත්තොත් මේ ආර්ථික අරගලය දිනන්න ඔබට දිනන්න පුළුවන්. පළාත් පාලන ලේකම්තුමාගේ චක්‍රලේඛයකින් ප්‍රාදේශීය ලේක්ම් කාර්යාලවලට අපි එවලා තියෙනවා කමිටු හදන්න. ගමින් ගම කමිටු හදාගෙන ජාතික මණ්ඩලයට එනවා. මේ ඇවිල්ලා ඉන්න අයට වෙබ් අඩවියෙන් ලියාපදිංචි වෙන්න පුළුවන් නම් ඉන්පසුව නිශ්චිත රැකියාවක් සඳහා වූ වෘත්තීය පුහුණුව ජනාධිපතිතුමා ඕගොල්ලන් වෙනුවෙන් නොමිලේ ලබා දෙනවා. ජනාධිපති අරමුදලෙන්. හෝටල්, වෙල්ඩින් සියලු රැකියා සඳහා සියල්ල ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින්. ඉතා ඉක්මනින් දහදාහක් පුහුණු කරලා රැකියාගත කරන්න අපි කටයුතු කරනවා. මෙතනින් පටන් අරගෙන තරුණ තරුණියො ගොඩනැගිලා අපි ආර්ථික අරගලය ඉස්සරහට කරන්න ඕනේ. කතා, දේශන පවත්වලා වැඩක් නෑ. නූතන වැඩ ලෝකයට ගැලපෙන්න අපි හිතන්න පටන්ගන්න ඕනේ. ඒක මගෙන් පටන්ගමු.”

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

2 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

2 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

3 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

3 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

3 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

3 days ago