කැස්සට භාවිතා කරන සිරප් වර්ග සහ පැරසිටමෝල් අඩංගු සිරප් වර්ග කිහිපයක් කුඩා දරුවන්ට ලබා දීමේදී වෛද්‍ය නිර්දේශය මත පමණක් ලබා දෙන ලෙස කොළඹ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය දෙමාපියන්ගේන් විශේෂ ඉල්ලීමක් කරනවා.
ඩයිඑතිලීන් ග්ලයිකෝල්/ එතිලීන් ග්ලයිකෝල් නැමති විෂ රසායන ද්‍රව්‍ය අධිමාත්‍රවෙන් අඩංගුවී ඇති නිසා මාරාන්තික තත්ත්ව ඇති කරන බවයි සිරප් වර්ග කිහිපයක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව දැනුවත් කර තිබීම මීට හේතුවයි.
ඒ අනුව Alergo syrup, Emidone Suspension, Mucorid syrup, Ulcofin suspension සහ Zincell syrup ලෙස වෙළඳපොලට එන මෙම සිරප් වර්ග ඉන්දියාවේ සහ පාකිස්තානයේ නිෂ්පාදනය කරන නමුත් අදාළ නිෂ්පාදන ආයතනයන්ගෙන් එම ඖෂධ මෙරටට ආනයනය නොකරන බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ද තහවුරු කර ඇති බව විෂ තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.
කෙස් වෙතත් නියාමනයකින් තොරව අවිධිමත්ව ගෙන්වන ඖෂධ ජාවාරමක් රට තුළ හෙළිව ඇති බැවින් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බව එම මධ්‍යස්ථානය සඳහන් කරනවා.
එමෙන්ම මෙම ඖෂධ විෂ වීම හේතුවෙන් පාකිස්තානය, ඉන්දියාව, මාලදිවයින සහ ලාඕසය යන රටවල මරණ වාර්තා වී ඇති බව වැඩිදුරටත් පෙන්වා දෙනවා.


