ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ඊයේ (14) පැවැත්වුණා.
එහිදී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 48යි පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 266ක් රැස් කළ අතර පන්දුවාර 35යි පන්දු 2ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කළේ අවසන් තරගය කඩුලු 7 කින් ජයගනිමින්.
අවසන් තරගයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 118ක් ලබා ගත්තේ පන්දු 101ක් වැය කරමින්.
ඊට හතරේ පහර 16ක් සහ හයේ පහර 2 ක් ඇතුළත්.
මෙම තරගයේ දී පැතුම් නිස්සංක වේගයෙන්ම ලකුණු 2000 සේ සීමාව පසු කළ ශ්‍රී ලංකාවේ එක්දින පිතිකරුවා බවට පත්වුණා.
ඒ ඒ සඳහා ඉනිම් 53 ක් වැය කරමින්.
මීට පෙර එම ස්ථානයේ පසුවුණේ හිටපු ක්‍රීඩක උපුල් තරංග යි.
ඉනිම් 63කින් උපුල් තරංග එක්දින ලකුණු 2000 සම්පූර්ණ කර තිබුණා.
මේ අතර ඇෆ්ගනිස්ථානයට එරෙහි පළමු එක්දින තරගයේ දී ලකුණු 210ක් රැස් කරමින් එක්දින ඉනිමක ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව සහ පළමු දිවිත්ව ශතකයේ වාර්තාව ද තමා සතු කර ගැනීමට පැතුම් නිස්සංක සමත් වුණා.


