කහටගස්දිගිලිය අඹගහවැව මීමින්නාවල ප්‍රදේශයේ අස්වැන්න නෙලමින් තිබූ තුඹ කරවිල වගාවක් කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් කපා විනාශ කර දමා ගොස් තිබෙනවා.

මෙලෙස විනාශ කර ඇත්තේ අඹගහවැව මීමින්නාවල ප්‍රදේශයේ පදිංචි ගැමුණු සාන්ත සේනාධිර තරුණ ගොවි මහතාගේ ගෙවත්තේ වගා කර තිබූ තුඹ කරවිල වගාවක්.

ඔහු පවුලේ ඥාතිවරයෙකුගේ දානමය පින්කමකට ගොස් අද දහවල් නිවසට පැමිණ ඇති අතර එහිදී ගොවි මහතා දැක ඇත්තේ තම වගාව කිසිවෙකු විසින් විනාශ කර ඇති බවයි.
විශාල වශයෙන් මුදල් වියදම් කොට අස්වැන්න නෙලමින් තිබූ අවස්ථාවේ කරවිල වගාව විනාශ කර ඇති බවත් කරවිල වැල් දෙසීයකට ආසන්න ප්‍රමාණයක් කපා දමා ඇති බවත් විශාල ආදායමක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිදුකළ වගාව, නෙළීමට ආසන්නව තිබියදී මෙලෙස විනාශ වූ බවත් ගොවි මහතා පවසනවා.

ඔහු දෙව්ලොව පොලිස් ස්ථානයට ගොස් මේ සම්බන්ධව පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දිවුල්වැව පොලිසිය මගින් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින අතර මේ වන විටත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.



