විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී බවත් ඒ අනුව පෙබරවාරි මස මුල් සතිය වන විට විදුලිබිල සංශෝධනය කරන බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05)ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
නව ජනන සැළැස්මට අනුව 2024 වසරේ දී මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා…
විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී තිබෙනවා. මේ මාසය අවසන් වීමට පෙර හෝ ලබන මස මුල් සතියට පෙර විදුලි බිල අඩුකිරීමට කටයුතු කරනවා. ඒ වගේම 2024 වර්ෂයේදී අප බලාපොරොත්තු වන ඉලක්ක සඳහා ගමන් කිරීම අපගේ අරමුණයි.
විදුලිබල මණ්ඩලයට මේ වන විට අලුතින් සේවකයන් බඳවා ගැනීම නවතා තිබෙනවා.ඒ වගේම සේවක දිරි දීමනා සහ උසස්වීම් කාර්ය සාධනයට අනුව සිදු කිරීමට නියමිතයි. විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක එලෙසම ක්‍රියාත්මකයි.


