දේශීය

රජය කිසිඳු අවස්ථාවක විදුලි කප්පාදුවකට සූදානම් නැහැ! විදුලි ඇමතිගෙන් සහතිකයක්

රජය කිසිඳු අවස්ථාවක විදුලි කප්පාදුවකට සූදානම් නැති බවත්, ඒ පිළිබඳ ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

විදුලි උත්පාදනයට ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන කණ්ඩායම් අසත්‍ය මත සමාජගත කරමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරත වන බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඊට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

“දිවයින පුර සියලු ප්‍රදේශවලට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට මෙන්ම සමනළ වැව ජලාශයෙන් ලබා දිය හැකි උපරිම ජල ප්‍රමාණය විදුලිය උත්පාදනය වෙනුවෙන් ලබාදීමට, කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.”

“ඒ වගේම අද (08) අළුයම 3.00 සිට සමනළ වැව ජලාශයේ උපරිම ජළ ධාරිතාවයෙන් ජලය කියුබික් මීටර් මිලියන 3.5ක් නිකුත් කිරීමටත්, එම ජල ධාරිතාව භාවිත කරමින් විදුලි උත්පාදනය කිරීමටත් විදුලිබල මණ්ඩලය මේ වන විටත් කටයුතු කරමින් සිටින බව ද කිව යුතුයි.”

“මෙම මස 11 වනදා සිට 15 වනදා දක්වා කියුබික් මීටර් මිලියන 2.5ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයකට ජලය නිකුත් කරමින් විදුලිය උත්පාදනය කිරීමට දැනට සැලසුම් කර තිබෙනවා. නමුත් දැනට තිබෙන තත්ත්වය අනුව මෙම මස 16 වැනිදා වන විට පවතින ජල ධාරිතාව සැලකිල්ලට ගෙන සමනළ වැව ජලාශයේ විදුලි උත්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවෙනවා.”

“මේ අතරතුර පොල්පිටිය සහ හම්බන්තොට සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියේ කටයුතු අවසන් කිරීමටත්, විශේෂයෙන්ම අවශ්‍යතාව අනුව විදුලිය මිලදී ගැනීම සඳහාත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.”

“සමනල වැව ජලාශය පාලනය වන්නේ විදුලිබල මණ්ඩලය යටතේයි. අනිකුත් සෑම ජලාශයකම විදුලිබල උත්පාදනයට අවශ්‍ය ජලය නිකුත් කිරීමේ වගකීම දරනු ලබන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල කළමනාකරණ කමිටුව මගින් බව කිවයුතුයි.”

“සමනල වැව ජලාශයේ ජල ධාරිතාව නිසි කළමනාකරණයකින් යුතුව විදුලිය උත්පාදන කටයුතු සඳහා යොදා ගන්නවා. විදුලි බල මණ්ඩලය සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන වැඩසටහන අනුව විදුලි උත්පාදනය කරනවා නම් සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා කිසිදු ගැටලුවකින් තොරව විදුලිය ලබාදීමට හැකියාව තිබෙනවා.”

“සමනළ වැව ජලාශයෙන් අතිරේක ජලය නිකුත් කිරීම නිසා දකුණු පළාතේ මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත්, ගාල්ල දිස්ත්‍රික්කයේ අර්ධ වශයෙන් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අර්ධ වශයෙනුත් යම් කාල සීමාවකට යටත්ව විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවදානමක් මේ වන විට මතුව තිබෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය විදුලිය මිලදී ගැනීමක් සිදු කිරීමට රජයට මේ අවස්ථාවේ සිදුව තිබෙනවා. සමනළ වැව ජලාශයේ ජල ධාරිතාව ප්‍රමාණවත් නොවන නිසා එම ප්‍රදේශවලට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නම් මෙම මස 16 වැනිදා වන විට විදුලිය මිලදී ගැනීමට කටයුතු කළ යුතුව තිබෙනවා.”

“එක අර්බුදයක් තුළ තවත් අර්බුද කිහිපයක් නිර්මාණය කිරීම වෙනුවට, පළමු අර්බුදයට විසඳුමක් වශයෙන් ජලය නිකුත් කිරීමට සහ දෙවැනි, තෙවැනි, හතරවැනි අර්බුද ඇති නොවීමට අඛණ්ඩ විදුලිබල සැපයුමක් තහවුරු කිරීමටත් රජය තීරණය කර තිබෙනවා.”

“එනිසා පවතින ජල ධාරිතාව සැලකිල්ලට ගෙන සියලුම බලාගාර පද්ධති තුළින් විදුලිය සැපයීමට දැනටමත් කටයුතු කරමින් සිටිනවා. රජය කිසිදු අවස්ථාවක විදුලි කප්පාදුවකට අවශ්‍ය තීන්දු තීරණ ගෙන නැහැ. ජනතාව මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු ද නැහැ. විදුලි කප්පාදුවක් සිදුවන විට රටට සංචාරකයන් පැමිණෙන්නේ නැහැ. රටේ කර්මාන්තවලට බලපෑමක් සිදු වෙනවා.”

“ඇතැම් දේශපාලන කණ්ඩායම් මෙම අර්බුදය තුළින් යම් දේශපාලන වාසියක් ලබා ගැනීමට උත්සාහ දරමින් සිටිනවා. සමනල වැව ජලාශයේ ජලය නිකුත් කිරීම සම්බන්ධයෙනුත් ඇතැම් දේශපාලන කණ්ඩායම් හා සංවිධාන විවිධ මත සමාජගත කළා. එම කණ්ඩායම ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ වෛරයක් ඇති කිරීමේ උත්සාහයක නිරත වෙනවා. ඔවුන්ගේ එම උත්සාහය රජය ගත් තීන්දු තීරණ හේතුවෙන් ව්‍යර්ථ කිරීමට හැකි වූ බව කිව යුතුයි.”

“අඛණ්ඩ විදුලි බලයක් නොතිබීමේ අත්දැකීම අපි සියලු දෙනාම මීට වසරකට පෙර අත්වින්දා.
ජනතාව ඉන්ධන පොළිම්වල දුක් වින්දා. කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වුණා. එසේම රෝහල්වල මෙන්ම ජනතාවගේ දෛනික කටයුතුත් අඩාල වුණා.”

“ඈත අතීතයේ කුප්පි ලාම්පුවලින් සිය අවශ්‍යතා සපුරා ගත්තත්, මෑත කාලයේ කුප්පි ලාම්පුවලින් සියලු අවශ්‍යතා සපුරා ගන්න බැහැ. ඒ නිසා තමයි සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර, අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් වූ සැලසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ. අඛණ්ඩ විදුලි සැපයුම ලබාදීමට සමගාමීව කෘෂිකර්මාන්තයට අවශ්‍ය යම් ජල ප්‍රමාණයක් ලබාදීමටත් රජය තීරණය කර තිබෙනවා.”

“රටේ පවතින නියඟ තත්ත්වය සියලුදෙනා අවබෝධ කරගත යුතුයි. මෙම වසරේ බලාපොරොත්තු වූ වර්ෂාව ලැබුණේ නැහැ. ඉදිරි කාලයේත් ඒවැනි දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට සිදු විය හැකියි. ඉදිරි වසර දෙකක කාලය වෙනුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සදහා අවශ්‍ය විදුලිය ඕනෑම අවස්ථාවකදී මිලදී ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලබා ගැනීමටත් අප බලාපොරොත්තු වෙනවා.”

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

3 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

5 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

6 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

6 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

6 days ago