
වී වගාවට යොදන සියලුම කෘමි සහ වල් නාශක 60%ක් ඉතිරි කර ගනිමින් කාලය, ධනය, ශ්‍රමය ආරක්ෂා කරගෙන අක්කර දෙක හමාරකට විනාඩි 4ක වැනි කෙටි කාලයකින් දියර ඉසීමට හැකි ඩ්‍රෝන යානාවක් නිර්මාණය කළ අයකු පොලොන්නරුව, මහවැලි බී කලාපය, දිඹුලාගලින් අපට හමු විය.
ඔහු නමින් සංකල්ප ද සිල්වා වන අතර, අංක 70/01 හෙට්ටියාවත්ත ඇලපිටිවල, රාගම ප්‍රදේශයේ පදිංචි අයෙකි.
බඩඉරිඟු, පොල්, කජු, උක් ඇතුළු අනෙකුත් භෝග වගාවලට වැලඳෙන සියලුම රෝගවලට ද මේ ඩ්‍රෝන යානාව උපයෝගී කරගනිමින් දියර ඉසීමට හැකි වන පරිදි ඔහු විසින් මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
මේ කෘෂිකාර්මික ඩ්‍රෝන යානාව පිළිබඳව සංකල්ප මෙලෙස අදහස් දැක්වීය.
“මේක කෘෂිකාර්මික ඩ්‍රෝන යානයක්. මෙහි විශේෂත්වය ලංකාවේ තමයි මේ සියලු පරීක්ෂණ කටයුතු කර නිර්මාණය නිමාවට පත් කළේ. මේ නිර්මාණයේ හිමිකරු මම. මෙය මෙරට වගාවන්ට හොඳටම සුසර කර තියෙන්නේ. වෙනත් ක්‍රමවලින් තෙල් ඉසිනවාට වඩා මේ ඩ්‍රෝන යානාවෙන් තෙල් ඉසීමෙන් 60%ක් තෙල් ඉතිරි කරගැනීමේ හැකියාව තිබෙනවා. මෙය දීප ව්‍යාප්ත කර හදා ගත්තොත් මෙරට පොහොර භාවිතය 50%කින් අඩු කරගැනීමටත් හැකියාව පවතිනවා. ඒ වගේම පොළොවට පතිත වන රසායනික ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ හරහා පිටරටට යන මුදල් ඉතිරි කර ගන්නත් පුළුවන්. එවගේම මෙයින් ගොවි මහත්වරුන් රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම 100%කින්ම අඩු වෙනවා. මේ ඩ්‍රෝන යානාවෙන් දවසකට තෙල් අක්කර පනහක හැටක ප්‍රමාණයකට ඉසින්න පුළුවන්.
මම රජයෙන් ඉල්ලන්නේ පිටරටින් ගේන ඩ්‍රෝන යානා ප්‍රමාණය අඩු කර ලංකාවේ නිෂ්පාදනය කරන ඒවාට මුල්තැන දෙන්න කියලා. මේ ඩ්‍රෝන යානාව දීප ව්‍යාප්ත කරන්න රජයෙන් සහයෝගය බලාපොරොත්තු වෙනවා. මම මේ වෙනකොට සැලසුම් කර තියෙනවා, එක් පුද්ගලයකුට නැඟ යෑමට හැකි ඩ්‍රෝන යානාවක්. අපට මූල්‍ය ණය පහසුකම් දෙනවා නම් මේවා වැඩි දියුණු කර තව බොහෝ පිරිසකට රැකියා අවස්ථා දීමටත් හැකියාව තිබෙනවා. විශේෂයෙන් තරුණයන් මේ තාක්ෂණයත් සමඟ කෘෂිකර්මාන්තයට නැඹුරු වීමේ ප්‍රවණතාව වැඩි වෙනවා.”
මනම්පිටිය නිමල් ජයරත්න
උපුටා ගැනීම: දිනමිණ


