Thursday, April 23, 2026
Homeදේශීයකඩාවැටුණු ආර්ථිකය ස්ථාවර කිරීමට සහය දුන් සියලු කම්කරු ජනතාවට ස්තූතිය: ජනපති මැයි...

කඩාවැටුණු ආර්ථිකය ස්ථාවර කිරීමට සහය දුන් සියලු කම්කරු ජනතාවට ස්තූතිය: ජනපති මැයි දිනයට සුබ පැතුම් එක් කරයි

කඩාවැටුණු ආර්ථිකය යළි ස්ථාවර කරන අසීරු පියවරේ දී ඉවසීමෙන් කටයුතු කළ සියලු කම්කරු ජනතාවට තම ස්තූතිය පුද කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

කම්කරුවන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද දිනා දෙමින් ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන යහපත් අනාගතයක් නිර්මාණය කිරීම අද වැනි දවසක අපේක්ෂාව වන බව ජනාධිපතිවරයා පවසනවා.

අදට යෙදෙන කම්කරු දිනය වෙනුවෙන් සුභාශිංසන එක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයාගේ එම පණිවුඩය පහතින්,

රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට වඩා ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි සමාජ බලවේගය වන්නේ වැඩකරන ජනතාවයි. ඉතිහාසය පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග බොහෝ වන අතර ඒ සෑම අවස්ථාවකම රට ජයග්‍රහණය කරා මෙහෙයවීමට වැඩකරන ජනතාව ලබා දුන්නේ සුවිශේෂී දායකත්වයකි.

පසුගිය වසරේ මැයි දිනය සමරන අවස්ථාව වන විට රට දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්ව තිබු අතර ඒ හමුවේ සියලුදෙනාට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු විය. එම අභියෝගාත්මක කාල වකවානුවේ දී, ආර්ථිකය ස්ථාවර කරන අසීරු ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටි සියලු වැඩකරන ජනතාවට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනැමීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.

එමෙන්ම මේ උදා වී ඇත්තේ අන් කවරදාටත් වඩා ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවගේ අභිමානය ලොවට ප්‍රදර්ශනය කළ හැකි අවස්ථාවකි. මෙම තීරණාත්මක අවස්ථාවේ පටු දේශපාලන වුවමනාවන්ට ගොදුරු නොවී රට පළමුව තබා කටයුතු කරන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

අප සෑම විටම කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ක්‍රියා කළ අතර, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද දිනා දෙමින් ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන යහපත් අනාගතයක් නිර්මාණය කිරීම අද දවසේ ද අපේක්ෂාව වන්නේය.

සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධව මේ වන විට අනියත බියක් ඇති කිරීමට ඇතැම් පාර්ශ්ශව උත්සාහ කළ ද වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන සේවක අර්ථ සාධක අරමුදලට කිසිඳු හානියක් සිදුවීමට අප ඉඩ නොතබන බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.

READ:   සරසවි ඇදුරන්ගේ උ/පෙළ උත්තර පත්‍ර ඇගයීමේ වර්ජනය අවසන්..

2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මඟ සමඟ එකමුතුව අත්වැල් බැඳගන්නා ලෙස මම සියලු වැඩකරන ජනතාවට ආරාධනා කරන අතර ස්වකීය අයිතීන් සුරක්ෂිත වූ අර්ථවත් ජාත්‍යන්තර කම්කරු දිනයකට සුභාශීංසන එක් කරමි.

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති

RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්