2022 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධනය සෘණ 7.8ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ, ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව ඊයේ (27) එළිදක්වමින්.
මහ බැංකුව වාර්තාව අද නිල වශයෙන් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් භාරදෙනු ලැබුවා.
මේ වසරේ ආර්ථික වර්ධනය ද සෘණ 2 ක් වනු ඇති බව මහ බැංකුවේ පුරෝකථනයයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වැනි වාර්ෂික වාර්තාව වන මෙහි දැක්වෙන්නේ, නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තාවූ අසීරුම ආර්ථික කාල පරිච්ඡේදය 2022 බවයි.
දීර්ඝ කාලයක් තිස්සේ අයවැය හා ගෙවුම් ශේෂ හිඟයන්ට මුහුණ දී සිටි ශ්‍රී ලංකාව 2022 වනවිට දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් පැන නැගුණු අභියෝගයන්ට මුහුණදීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටි බව මහ බැංකු වාර්තාවේ දැක්වෙනවා.
එවන් පසුබිමක බදු අඩුකිරීම, කිසිදු පූර්ව සුදානමකින් තොරව කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීම, විදෙස් සංචිත අවසන් වනතුරු විදේශීය ණය ගෙවීමට උත්සාහ දැරීම මෙන්ම පූර්ව අනතුරු ඇඟවීම් කෙරෙහි අවදානය යොමු නොකිරීම වැනි හේතු තුළින් ආර්ථිකය අති විශාල කම්පනයකට මුහුණ දුන් බව ද එම වාර්තාවේ දැක්වෙනවා.
මේ හේතුවෙන් විදේශ මූල්‍ය අර්බුදය සමාජ ආර්ථික ප්‍රශ්නය සමාජ දේශපාලනික ගැටලුවක් දක්වා වර්ධන වීම තුළ ව්‍යාපාරික විස්වාසය කඩා වැටීම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවීම, ජීවන හා නිෂ්පාදන පිරිවැය ශීඝ්‍ර ලෙස ඉහළ ගිය බව මහ බැංකුව පෙන්වා දෙනවා.
ඒ අනුව, පසුගිය වසර තුළදී ඉන්ධන මිල ගණනන් 185% කින් බස් ගාස්තු 140% කින් ජල ගාස්තු 120% විදුලිය 114% කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
ආහාර සැලකීමේදී පාන් 166% කින් කිරිපිටි 150% කින්, පළතුරු 112% කින් ආදි ලෙස ඉහළ මිල ගණන්ද පෙර නොවූ විරු ලෙස එම වසර තුළ ඉහළ ගිය බව මහ බැංකුව පෙන්වා දෙනවා.
මෙම භාණ්ඩ සේවාවල මිල ගණන් ඉහළ යාම තුළ මෙරට පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාව විශාල ලෙස පහළ ගොස් ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් .
පෞද්ගලික අංශ සේවකයාගේ මිලදී ගැනීමේ හැකියාව 22.7 % කින් ද රාජ්‍ය සේවකයාගේ 20.6% කින් පහළ ගොස් ඇති බව මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙනවා.


