මහාචාර්ය ප්‍රියානි සොයිසා ශ්‍රී ලාංකීය වෛද්‍ය ඉතිහාසයේ නොමැකෙන සලකුණකි. ඇය ශ්‍රී ලංකාවේ මහාචාර්යවරියක් වූ පළමු කාන්තාවයි.
කීර්තිමත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක වූ මහාචාර්ය ප්‍රියානි සොයිසා වසර 98ක් ජීවත් වී ඊයේ අභාවප්‍රාප්ත වූවාය. ඇය වෛද්‍ය විද්‍යාවට කලා වු ප්‍රගතිශීලී සේවය හේතුවෙන් රටේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ වෛද්‍යවරියකි.
ප්‍රියානි සොයිසා මහත්මිය උපත ලැබුවේ 1925 දීය. මොරටුව ප්‍රින්සස් වෙල්ස් විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබූ ඇය කොළඹ වෛද්‍ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී පළමු පන්තියේ ගෞරව සහිතව වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට සමත් වුවාය. ඉන්පසු රජයේ රෝහල් කිහිපයකම සේවය කළ අතර ළමා රෝග පිළිබඳ පශ්චාත් අධ්‍යයනය සඳහා මහා බ්‍රිතාන්‍යයට යාමට වරම් ලැබුවාය. කීර්තිමත් බ්‍රිතාන්‍ය පශ්චාත් උපාධිය Royal Cillege of Physician හි සම්පූර්ණ කල ඇය නැවත මෙරටට පැමිණියාය. රෝගී සත්කාර සහ අධ්‍යයන කටයුතු යන අංශ දෙකෙහිම සමබරව තම දස්කම් දැක්වු ඇය වෛද්‍ය විද්‍යාව සඳහා මෙතරම් උසස් අධ්‍යාපන සුදුසුකම් ලැබූ අපේ රටේ පළමු කාන්තාව ලෙස ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකරගැනීමෙන් තහවුරු කලාය.
ඇය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කළාය. කොලෝ වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග අංශය භාරව සිටි මහාචාර්ය සී සී ද සිල්වා මහතා විශ්‍රාම යාම හේතුවෙන් වෛද්‍ය ප්‍රියානි සොයිසා මහත්මියට එම තනතුර භාර ගැනීමට සිදු විය. ඇය 1991 දී විශ්‍රාම යන විට කොළඹ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ළමා රෝග පිළිබඳ මහාචාර්යවරියක් ලෙස අඛණ්ඩව වසර විසිපහක් තම සේවය ලබාදුන්නාය.
ඇගේ පර්යේෂණ භූමිකාව විද්‍යාඥයන් පවා මවිත කල ඉතා පුළුල් එකක් විය. ඇය බෝවන රෝග මෙන්ම පෝෂණය සම්බන්ධ බොහෝ පර්යේෂණ කටයුතුවල ද නිරත වී ඇත. ඇය ශ්‍රී ලංකා පෝෂණවේදීන්ගේ සංගමයේ ආරම්භක සාමාජිකත්වය දරයි. තවද ඇය එහි සභාපතිනිය ලෙස වෙනස්ම භූමිකාවක් ද ඉටු කළාය. මව්කිරි දීම ප්රවර්ධනය කිරීමට කැපවී කටයුතු කළාය. මව්කිරි දීමේ වැදගත්කම ගැන ඇය ප්‍රබල හඬක් නගන විට මව්කිරි දීම සම්බන්ධව මව්වරුන්ට අදයාපනයක් ලබාදුන් යුගයක් නොවේ. “පළමු මාස හතර – මව්කිරි පමණක් ලබා දී දරුවන්ට දෙන කිරිපිටි ඉවත් කළ යුතුයි” යන නීති අපේ රටට හඳුන්වා දෙන්න පෙරමුණ ගත්තේ ඇයයි.
මව්වරුන්ට තම දරුවන් සමඟ ළමා වාට්ටුවල රැඳී සිටීමට අවස්ථා නිර්මාණය කිරීම, මව්වරුන්ට මාස තුනක් දක්වා මාතෘ නිවාඩු ලබාදීමට කටයුතු කිරීම, මව්කිරි දීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම, පෝලියෝ මර්දන වැඩසටහන ඇයගෙ සංකල්පයි.
ඇය වෛද්‍ය විද්‍යාලයෙන් විස්‍රාම ලැබුවද ඇයගේ වගකිවයුතු වෛද්‍ය භූමිකාවෙන් විවේකයක් ගැනීමට ඇයට ඉඩ නොලැබුණි. ඇය Sri Lanka College of Paediatrians , The postgraduate institute of Medical Sciences) හි ප්‍රථම සභාපතිනිය වූවාය. වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ ළමා රෝග පිළිබඳ අධ්‍යයන මණ්ඩලයේ සභාපතිනිය ලෙසද ඇය කටයුතු කලාය. ජාතික විද්‍යා පදනම යනු අපේ රටේ පර්යේෂකයන් සහ විද්‍යාඥයන් එක්රැස් කර පර්යේෂණ දිරිගැන්වීම සඳහා ආරම්භ කළ ප්‍රමුඛතම ආයතනයයි. ජාතික විද්‍යා පදනමේ සභාපතිනිය ලෙස ද ඇය මෙරටට අමිල මෙහෙවරක් ඉටු කළාය. මහාචාර්ය ප්‍රියානි සොයිසා පෝෂණය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකවරියක ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශිෂ්ට මෙහෙවරක් ඉටු කළාය.
ඇගේ ජීවිත කාලය ඇය ගමන් කළේ විවිධ අභියෝග හා බාධක වලට මුහුණ දෙමිණි. ඇය ඒවාටද ඉතා ධෛර්යයමත්ව මුහුණ දුන්නාය. ශ්‍රී ලංකා ඉතිහාසයේ වෛද්‍ය වරියකගේ නොසැලකිල්ලට (Law act to medical negligence) ගොනුකළ පළමු නඩුවට ද මුහුන දීමට ඇයට සිදුවිය…
නීතීඥ රියන්සි අර්සකුලරත්න මහත්මිය හදිසි අසනීපයකින් පසුව ප්‍රතිකාර ගැනීම සඳහා 1992 අප්‍රේල් 18 දින තම දියණිය ඇය වෙත රැගෙන ආවාය. මහාචාර්යවරයා දැරියගේ රෝගය රූමැටික් රෝගියෙකු ලෙස හඳුනාගෙන ප්‍රතිකාර කළේය. රුමැටිකෝරියා රෝගයට මාසයක් ප්‍රතිකාර ගත්තත් ඇත්තටම ඇයට තිබුණේ මොළයේ පිළිකාවක්. ප්‍රතිකාර අතරතුර දැරියගේ දෙමාපියන් ඇයව ප්‍රතිකාරවලින් ඉවත් කර විදේශගත කර ඇතත් එම වසරේම ජුනි 19 වැනිදා දැරිය අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගියාය. ප්‍රමාද නොවී හඳුනා ගත්තේ නම් තම දියණිය බේරා ගැනීමට හැකිව තිබූ බව විශ්වාස කළ දැරියගේ පියා වන අර්සකුලරත්න මහතා ඇයට එරෙහිව දිසා අධිකරණයේ නඩු පවරා නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු පැමිණිලි පාර්ශ්වයට රුපියල් ලක්ෂ පහක් ගෙවන ලෙස ඇයට නියෝග කළේය. ඇය ඊට එරෙහිව අභියාචනවක් ඉදිරිපත් කළාය. නඩුව පහළ අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඉහළට ගියේය. එදා පත්තරවල පවා මේ නඩුවට තැනක් තිබුණාය. අවසානයේ මහාචාර්ය ප්‍රියානි සොයිසා සියලු චෝදනාවලින් නිදහස් වූයේ නඩු ගාස්තු ද නැවත ගැනීමට තීරණය කරමිනි. නමුත් ඇය සනාතන ධර්මය නීතියට වඩා වෙනස් මාර්ගයක් බව පෙන්වමින් නඩු ගාස්තුව පවා කරුණාවෙන් ප්‍රතික්ෂේප කළාය.
මහාචාර්ය ප්‍රියානි සොයිසා වෛද්‍ය විද්‍යාවටත්, විද්‍යාත්මක පර්යේෂණ ප්‍රජාවටත්, සමස්ත මාතෘත්වයටත්, දරුවන්ටත් අසමසම සේවාවක් ඉටු කළ අභීත කාන්තාවක්ය.
ඇයගේ අවසන් කටයුතු අප්‍රේල් 10 වැනි සඳුදා බොරුල්ල කනත්තේදී සිදු කෙරේ.


