ඊයේ (08) උදෑසන ජීප් රථයක් අනතුරකට ලක්වීමෙන් මාතලේ ප්‍රදේශයේදී 19 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා තිබුණා.
මාතලේ තොටගමුව වෙල්යාය අසලදී ජිප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමෙන් අනතුර සිදුව තිබුණා.
අනතුර සිදු වන විට ජිප් රථයේ පුද්ගලයින් 10 දෙනකු ගමන් කර ඇති අතර අනතුරින් මාතලේ තොටගමුව ප්‍රදේශයේ පදිංචි දුෂ්මන්ත සිතුම් විජේසේකර නැමති තරුණයා ජීවිතක්ෂයට පත් වුණා.
2022 වසරේ උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි දුෂ්මන්ත, මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ 2021 , 2022 පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇති අතර එමෙන්ම ඔහු වයස අවුරුදු 19න් පහළ ජාතික සංචිතයද නියෝජනය කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බව වාර්තා වෙනවා.
මාතලේ පලාපත්වල ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබූ සුහද හමුවක් අවසානයේ නැවත එමින් සිටියදී අනතුරකට ලක් වී මිය ගිය දුෂ්මන්ත, පවුලේ එකම දරුවා වන බව සඳහන් වෙනවා.


