දේශීය

සියුමැලි දෑතෙන් දොඹකර ක්‍රියා කරවන කොළඹ වරායේ යකඩ ලියන්

වමේ සිට දකුණට. රාජගිරියේ දිල්කි නදීෂා, වාද්දුවේ එච්.එස්.එම්.සී. හර්ෂනි, බියගම මදුෂානි උදේශිකා, බේරුවල පූජනී දිල්කි, නුගේගොඩ එරන්දි ප්‍රනාන්දු, හෝමාගම ඉෂාරා සෙව්වන්දි, යක්කල මංගලිකා,කළුතර ප්‍රසාදි මනතුංග,වැලිගම ශමිලා රසිකානි සහ පොල්ගහවෙල දිල්හානි ගුණරත්න. ඡායාරූප -මාලන් කරුණාරත්න

මංගලිකා,කළුතර ප්‍රසාදි මනතුංග,වැලිගම ශමිලා රසිකානි සහ පොල්ගහවෙල දිල්හානි ගුණරත්න. ඡායාරූප -මාලන් කරුණාරත්න

ටොන් ගණන් බර කන්ටේනර් එහා මෙහා උස්සන එක ගැහැනුකමට ඔරොත්තු දෙන රස්සාවක් දැයි කෙනකුට හිතුණත් දැන් ඒ සිතුවිල්ලට පදනමක් නැත.

එක්කෙනෙක් දෙන්නෙක් නොව, දොඹකර ක්‍රියාකරවන්නියන් දහ දෙනකුම කොළඹ වරාය පර්යන්තයේ කන්ටේනර් එහා මෙහා ඔසවන රාජකාරියේ නියැළෙන්නේ ඔය සියලු කතා බොරු කරමිනි.

මීටර හැත්තෑ පහේ සිට අසූව අනූව දක්වා උස දොඹකර මුදුනේ පුංචි වීදුරු කුටියක හිඳ, ගියර් එහා මෙහා කරමින්, ටොන් තිහ හතළිහ බර කන්ටේනර් බාන පටවන ළඳුන් ඇත්නම් ඒ කොළඹ වරායේ ඔවුන් ම පමණකි. 

දකුණු ආසියාවේවත් නැතැයි කියන, කාන්තා දොඹකර ක්‍රියාකරවන්නියන්ගේ අත්දැකීම් විමසනු වස් කොළඹ වරායට ගියේ එහෙයිනි. සේවා මුර ක්‍රමයට අනුව පැමිණෙන බැවින්, හමු වූයේ ශමිලා රසිකානි පමණකි.

“මම වැලිගම. ඉගෙන ගත්තේ සවුත්ලන්ඩ් බාලිකාවේ. උසස් පෙළට කළේ නර්තනය, ජනමාධ්‍ය ඇතුළු කලා විෂයයන්. කොළඹ වරායට ආවේ වැඩ සහායක තනතුරට. මානව සම්පත් අංශයේ වැඩ සහායක ලෙස සේවය කරමින් ඉන්නා විට, ක්‍රේන් ඔපරේටර් තනතූර සඳහා ගැහැනු ළමයින් බඳවා ගැනීමට අදහසක් තිබෙන බවත්, ඒ සඳහා කැමැති අයට ඉල්ලුම් කළ හැකි බවත් 2016 වසරේ අප දැන ගත්තේ ආයතනය තුළ තිබෙන මහපොළ ට්‍රේනින් සෙන්ටර් එකේ සේපාල මහත්මයා හරහා.

මාත් ඇතුළු ගැහැනු ළමයින් විස්සක් පමණ මේ සඳහා ඉල්ලුම් කළා. එය මාස හයක පුහුණුවක්. ආයතනයේ සෑම අංශයක් පිළිබඳවම දැනුම ලබා දී UCT අංශයේ Gantry Crane වල අනුරුවක මූලික පුහුණුව ලබා දුන්නා. ඉන් සිදු වන්නේ ටොන් තිහක් තිස් දෙකක් බර කන්ටේනර් හෙවත් ටැංකි, නැවෙන් බිමට බෑමත් නැවට පැටවීමත් කියන ඉතා සංකීර්ණ කාර්යයක්.

ගැන්ට්‍රියක වැඩ කරන්න නම් ප්‍රයිම් මූවර් සහ ට්‍රාන්ස්ෆර් ක්‍රේන්වල පළපුරුද්ද අත්‍යවශ්‍යයයි. ඒ නිසා අපිට ගැන්ට්‍රියක පුහුණුව ලැබුණත් එක පාරටම එහි වැඩ කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. අපි දැන් වැඩ කරන්නේ ඊට ටිකක් උසින් අඩු ට්‍රාන්ස්ෆර් ක්‍රේන්වල. ගැන්ට්‍රියක් සෑම විටම නැවක් සමඟ සම්බන්ධ වන නිසා එය ජැටිය ආසන්නයේ ම පීලි මත පමණයි රඳවා තැබෙන්නේ. නමුත් අප පදවන ට්‍රාන්ස්ෆර් ක්‍රේන්, පර්යන්තයේ එහා මෙහා ගමන් කරන්නට පුළුවන්. නැවක් ආවම ඒවායේ කන්ටේනර් බාන්නේ ගැන්ට්‍රි ක්‍රේන්වලින්. ඒවා වාහනවලට පැටෙවුවාට පසු නැවතත් යාඩ් එකේ තැන්පත් කරන්නේ, අප ක්‍රියාත්මක කරන ට්‍රාන්ස්ෆර් ක්‍රේන්වලින්. ඊළඟට, නැවට පටවන්න තිබෙන ටැංකිත් අප එම වාහනවලටම පටවා, ඒවා ගැන්ට්‍රිය වෙත යවනවා.

අප වැඩ කරන, වරායේ JCT අංශයට සාමාන්‍යයෙන් සතියකට නැව් 10-15ක් එන නිසා එය කාර්යබහුල තැනක්. අපි අවුරුදු දෙකක් වැඩ සහායක තනතුරේ ඉඳගෙනම ක්‍රේන්වල වැඩ කළා.

ඇත්තටම උදේ හතයි හැන්දෑවේ හයයි සේවා මුරයේ පමණයි වැඩ කළේ.

නමුත් කොරෝනා කාලයේ සේවකයන්ගේ පැමිණීමේ අඩුකම නිසා පාලනාධිකාරිය අපෙන් ඇහුවා, වැඩ කරන්න කැමැතිද කියලා. අපි කැමැති වුණා. ඒ අනුව තමයි පැය 48 ඩියුටිය ආරම්භ වුණේ. ඒ කියන්නේ දවස් දෙකක් එක දිගට වැඩ. දවස් දෙකක් නිවාඩු. උදේ 7ට ක්‍රේන් එකට නැග්ගොත් දවල් 12:00 ට බහින්නේ. අපි ක්‍රේන්වල වැඩට ආවට මුලින්ම මෙතන පිරිමි අය කැමැති වුණේ නැහැ. නමුත් පස්සේ පස්සේ ඔවුන් තේරුම් ගත්තා, අපි මේ රැකියාව ආසාවෙන් කරන බව. දැන් ඒ හැම කෙනෙක්ම අප සමඟ සහෝදරත්වයෙන් වැඩ කරනවා.

අපි උදේට ක්‍රේන් එකට යද්දී කෑම සහ වතුර අරගෙන යනවා. අත්‍යවශ්‍යම දේකට හැරෙන්න ක්‍රේන් එකෙන් නැවත බහින්නේ නැහැ.

නයිට් ඩියුටි කරද්දී ක්‍රේන් එකට නඟින්නේ හැන්දෑවෙ හයට. අපිට කෑම එන්නේ රෑ 7.30න් පස්සේ. 8-9 අතර තමයි කෑම පැය. ඒ වෙලාවට අපි කෑම ගන්න ක්‍රේන් එකෙන් බහින්නේ නැහැ. කන්ටේනර් ඔසවන අඬු වැනි කොටස පහත් කළාම ඔවුන් එහි කෑම පාර්සලය තැන්පත් කරනවා. අපි එය උඩට ගන්නවා.

කැබින් එක පතුලේ වීදුරුවෙන් තමයි අපි පහළ බලන්නේ. හැම වෙලාවෙම අපි ටැංකියක් ඔසවන්නේ, පහත් කරන්නේ, බිම තැන්පත් කරන්නේ මේ වීදුරුවෙන් බිම බලමින්. එය, බෙල්ල සහ කොන්ද තරමක් නවාගෙන කළ යුතු කාර්යයක්. අපි බිම බලමින් තමයි ගියර් මාරු කරන්නේ. එක දිගට එහෙම කරනකොට බෙල්ල සහ කොන්ද තරමක් රිදෙන්න ගන්නවා. මේක මේ රස්සාවේ යෙදෙන ගැහැනු පිරිමි හැම කෙනකුටම පොදු ප්‍රශ්නයක්. කැමැත්තෙන් රස්සාව කරන නිසා ඒ ගැන එච්චර හිතන්නේ නැහැ. 

නැවක් වරායට එන්නේ ඉක්මනින් ඒ කටයුතු නිමවා ගන්න. බඩු බාන්නේ පටවන්නේ ගෑනුද පිරිමිද කියන එක ඒ අයට අදාළ නැහැ. වැඩේ ඉක්මනින් වෙන එක විතරයි වැදගත්. අව්ව තිබුණත් මහ වැසි වැස්සත් එයත් මේ රාජකාරියට අදාළ වන්නේ නැහැ. මහා වැසි අවස්ථාවක වුණත් අපි ආරක්ෂිතව ඒ රාජකාරියේ නියැළිය යුතුයි.

සෑම විටම ක්‍රේන් එකට නඟින්න කලින් ආරක්ෂික සපත්තු, ආරක්ෂිත හිස්වැසුම් ඇතුළු ඒ ඇඳුම් කට්ටලය සම්පූර්ණයෙන් හැඳ පැලඳ ගත යුතුයි.

ඩියුටි ඕෆ් වෙලා මම ක්‍රේන් එකෙන් බහිද්දී, ඊළඟ සේවා මුරයට එන්නේ පිරිමි සහෝදරයෙක්. නයිට් ඩියුටිය ඉවර වෙන්නේ රෑ දෙකට. වෙලාවක් අවේලාවක් නැතිව පිරිමින් හා කරට කර කරන මේ රස්සාව ගැන මට නම් තිබෙන්නේ මහා සතුටක්. අනික රෑ දෙකට ක්‍රේන් එකෙන් බැස්සත් අපිට බයක් නැහැ. පැය 24 පුරාම මේ සෑම තැනකම ආරක්ෂකයන් ඇවිදිනවා. පිට අය එන්නේ නැති නිසා ආරක්ෂාව පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ.

හය වසරේ ඉගෙන ගන්නා දුවෙක් ඉන්න අම්මා කෙනෙක් මම. අම්මා කෙනෙක් වෙන්න ශක්තිය තියෙනවා නම්, අනෙක් ඕනෑම දෙයක් කරන්න ඒ හයියම ඇති.

මුලින් විසි දෙනෙක් මේ කණ්ඩායමට බැඳුණට විවිධ හේතු නිසා අන්තිමට ඉතුරු වුණේ දහ දෙනයි. ඒ දහ දෙනාම මේ රස්සාවට බොහෝම කැමැත්තෙන් ඇප කැප වී වැඩ කරන අය.

මේ පාර සාමාන්‍ය පෙළ විභාගය ලියන දුවෙක් ඉන්න අම්මා කෙනකුත් අපේ කණ්ඩායමේ ඉන්නවා. අපි හැම කෙනාගෙම ගෙවල්වලින් ලැබෙන සහයෝගය නම් හුඟක් වටිනවා. අපි හැමෝම විවාහකයි. මහත්වරු කිසි කෙනෙක් මේ රස්සාව කරන්න එපා! කියලා බාධක පනවන්නේ නැහැ. ‘බහලුම් මෙහෙයුම් උපකරණ ක්‍රියාකරු – කාන්තා’ හෙවත්, Equipment Operator – Female තමයි අපේ තනතුර. දිල්කි නදීෂා, එච්.එස්.එම්.සී. හර්ෂනි, මදුෂානි උදේශිකා, පූජනී දිල්කි, එරන්දි ප්‍රනාන්දු, ඉෂාරා සෙව්වන්දි, මංගලිකා, ප්‍රසාදි මනතුංග සහ දිල්හානි ගුණරත්න අපේ කණ්ඩායමේ අනෙක් සාමාජිකාවන්. ඇත්තටම ආයතනයෙන් අපට ඉතා හොඳ අවස්ථා ලබා දී තිබෙනවා. කාන්තාවන් ලෙස ඉදිරියට එන්නට හැකි වී තිබෙන්නේ ඒ ලබා දෙන ධෛර්යය නිසයි…”

:උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Recent Posts

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

1 week ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

2 weeks ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

2 weeks ago

මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…

4 weeks ago

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බයයි – ට්‍රම්ප්

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…

4 weeks ago

වනස්පති ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ආරක්ෂා කෙරේ – රක්ෂිත කෙරුණු මුලු වනාන්තර ගණන 79ක්

ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…

1 month ago