“මාර්තු පළවෙනිදා සිට හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන හරහා ගමන් කිරීම අනිවාර්ය කෙරේ”
බත්තරමුල්ල ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් මෙම තීරණය කරුණු පැහැදිලි කළේය.
කොළඹ නගරය ආශ්‍රිතව පවතින රථවාහන තදබදය හේතුවෙන් මගී ජනතාව හා වාහන හිමියන් දිගු කලක් තිස්සේ අපහසුතාවයන්ට රැසකට මුහුණ දී සිටිනවා.
මෙම තදබදය වැළැක්වීම, ඉන්ධන පිරිමැස්මක් ඇති කිරීම, පරිසර දූෂණය වැළැක්වීම, මගීන්ගේ හා රථ වාහන වල ආරක්ෂාව තහවුරු කිරීම, මාර්ග හා බැඳුණු විනය පවත්වාගෙන යෑම ඇතුළු කරුණු රැසක් අරමුණු කරගනිමින් ඒ ඒ ක්ෂේත්‍ර වල විද්වතුන්ගේ අදහස් හා පර්යේෂණ ද සැලකිල්ලට ගනිමින් ජාතික ප්‍රවාහන සැලැස්මට බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථාන එක්කර තිබෙනවා.
ප්‍රධාන මාර්ග හතක් ඔස්සේ දෛනිකව ලක්ෂ 5කට අධික රථ වාහන ප්‍රමාණයක් කොළඹට ඇතුළු වනවා. එම රථ වාහන ප්‍රමාණය අවම කිරීම, බස් රථ හා දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම, මාර්ග අනතුරු අවම කිරීම, මගී ආරක්ෂාව තහවුරු කිරීම, පරිසර සංරක්ෂණය ඇතුළු කරුණු රැසක් අරමුණු කරගනිමින් රුපියල් මිලියන 2600ක වියදමින් අති නවීන පහසුකම් සහිතව කොට්ටාව බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදි කර තිබෙනවා. එහි සාර්ථකත්වය පදනම් කර ගනිමින් මේ වන විට කඩවත ඉදිවන බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම්ද 90% පමණ අවසන්ව තිබෙනවා.
මෑතක සිට මගී ප්‍රවාහන බස් රථ විශාල ප්‍රමාණයක් කොට්ටාව බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය මගහැර ධාවනය සිදුකරමින් සිටිනවා. විශේෂයෙන් හයිලෙවල් මාර්ගයේ මෙම ප්‍රදේශයේදි මගින් නංවා ගැනීම හා බැස්වීම සිදු කිරීම නිසා මාර්ග අනතුරු වැඩි වීම හා මගින්ට අවදානම් සහිත තත්වයක් මතුව තිබෙනවා.
විවිධ අවස්ථාවල මේ පිළිබඳ ලැබුණු පැමිණිලි පිළිබඳව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, රථවාහන පොලිසිය, ජාතික ගමනාගමන කොමිසම ඇතුළු අදාළ පාර්ශවයන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව එළඹෙන මාර්තු පළමුවැනිදා සිට සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්‍ය කිරීමේ තීරණයට එළඹ තිබෙනවා.
ඒ අනුව 1984 අංක 40 දරන මෝටර් රථ වාහන පනතේ 106-6 වැනි වගන්තිය ප්‍රකාරව හයිලෙවල් මාර්ගයේ කොට්ටාව බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගයේ අවිධිමත් හා නීති විරෝධී ලෙස මගීන් නංවා ගැනීම සහ බැස්වීම සඳහා වාහන නැවැත්වීම සපුරා තහනම් වනු ඇති. එම මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළට පැමිණ ඒ හරහා ගමන් කිරීම සිදුකළ යුතු බවට එමඟින් නියම කර තිබෙනවා.
රජයේ සහ පුද්ගලික අංශයේ සියලුම බස් රථ වලට මෙම නීතිය බල පවත්වනු ලබන අතර ලංකා ගමනාගමන මණ්ඩලය වෙත මේ පිළිබඳව ලිඛිතව නිල වශයෙන් දැනුම්දී තිබෙනවා. එසේම ජාතික ගමනාගමන කොමිසම හරහා පුද්ගලික බස්රථ වෙත ද මෙම නීතිය පිළිබඳව දැනුම් දී තිබෙනවා.මෙම නීති රීතිවලට අනුකූල නොවන යම් අයෙකු වෙතොත් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර අදාල ගමන් බලපත්‍රය අහෝසි කිරීමට ද සිදුවන බව එමඟින් දැනුම් දී තිබෙනවා.
මාධ්‍ය හමුව ඇමතූ ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ගැටලු රැසකට පිළියම් ලබාදෙමින් ක්‍රියාත්මක වන මෙම නීතිය ඉතාමත් වැදගත් වනු ඇති බවත් ඊට අනුගත නොවන පිරිස් හඳුනා ගැනීම සඳහා ජංගම පරීක්ෂණ කණ්ඩායම් සහ රථවාහන පොලිසියේද සහාය ලබා ගනිමින් කටයුතු කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කරන බව දන්වා සිටියේය.
රථවාහන විෂය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා අදහස් දක්වමින් මාර්තු පළවෙනිදා සිට ක්‍රියාත්මක වන මෙම නීතියට පටහැනි වන ලෙස ප්‍රධාන මාර්ගය අවහිර වන පරිදි කටයුතු කිරීම, අවිධිමත් ලෙස නීතිවිරෝධීව මගීන් නංවා ගැනීම සහ බැස්වීම, මාර්ගය අවහිර කිරීම, රථ වාහන පාලනය සහ මාර්ගයේ ආරක්ෂාවට පටහැනි වන පරිදි කටයුතු කිරීම වැරදිකරුවන් ලෙස සැලකීමට හේතු වන බවත් එබැවින් බස් රථ වල රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන් මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වගබලා ගත යුතු බවත් අවධාරණය කළේය.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ගමනාගමන කොමිසම, ශ්‍රී ලංකා පොලීසිය, මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම මාධ්‍ය හමුව සඳහා එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය


