Wednesday, April 22, 2026
Homeදේශීයරාජ්‍ය සේවකයින්ගේ විදේශ ගුවන් ගමන් පිරිමැසුම් පන්තියෙන් (Economy Class) පමණයි - ජනපති

රාජ්‍ය සේවකයින්ගේ විදේශ ගුවන් ගමන් පිරිමැසුම් පන්තියෙන් (Economy Class) පමණයි – ජනපති


රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිතා කරනු ලබන අවස්ථාවලදී අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු හැර අනිකුත් සියලුම නිලධාරීන් පිරිමැසුම් පන්තියේ (Economy Class) ගුවන් ටිකට්පත් පමණක් මිලදී ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දෙනවා.

මීට අදාළව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුත් චක්‍රලේඛයක් 2023 පෙබරවාරි 22 දිනැතිව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කර තිබේ.

යම් නිලධාරියෙකුට ව්‍යාපාරික පංතියේ (Business Class) ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම්, පිරිමැසුම් පංතියේ ගුවන් ටිකට්පතක් මිලදී ගැනීමට යන මුදල සහ ව්‍යාපාරික පංතියේ ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමට යන මුදල අතර වෙනස සිය පෞද්ගලික මුදලින් වැයකර ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට හැකියාව ඇත.

මෙම චක්‍රලේඛයේ සඳහන් ආකාරයට යම් නිලධාරියෙකුට ඉහත විධිවිධානවලට පරිබාහිරව සුවිශේෂි හේතුවක් මත රජයේ අරමුදල් භාවිතා කර ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ පිළිබඳ ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර ජනාධිපති ලේකම්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුය.

අදාළ චක්‍රලේඛයෙහි සඳහන් විධිවිධාන 2023 මාර්තු 01 වන දින සිට බලාත්මක වන අතර, ඒ අනුව මෙම කරුණට අදාළව මීට පෙර නිකුත් කර ඇති චක්‍රලේඛ හෝ උපදෙස් ලිපිවල සඳහන් විධිවිධාන එදින සිට බලරහිත වේ.

READ:   පාර්ලිමේන්තුව අද රැස්වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්