Sunday, April 19, 2026
Homeදේශීයවිජය ඝාතනය කර අදට වසර 35යි

විජය ඝාතනය කර අදට වසර 35යි

විජය කුමාරතුංග නම් මානව හිතවාදියා, දේශපාලනඥයා, කලාකරුවා ඝාතනය කොට 2023 වන මෙම වසරේ පෙබරවාරි 16 වන දිනට 35 වසරක් ගත වී ඇත්තේය. විජය ඝාතනය පැහැදිලි ලෙසම දේශපාලනික ඝාතනයකි. එබැවින් ඔහුගේ අකල් මරණයට වසර 35 ක් පිරෙන මේ අවස්ථාවේ එම ඝාතනයේ දේශපාලනික පසුබිම විමසීම අද්‍යතන කාලෝචිත අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. ඔහු කලාකරුවකු ලෙස ඒ වන විට ලබා තිබූ අසමාන ජනප්‍රියත්වය මේ ඝාතනය කෙරෙහි ඍජු සම්බන්ධතාවක් නොදක්වන බව බැලූ බැල්මට නොපෙනෙතත් මෙම ඝාතන සිද්ධිය විග්‍රහ කොට බැලීමේදී පෙනී යන්නේ විජය කෙරෙහි වූ ජනතාවගේ අසීමිත ආදරය ඔහුගේ දේශපාලනික ගමන්මඟ කෙරෙහි සමපාතව බැඳීමෙන් ඔහු හා ඔහුගේ දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා මහජන පක්ෂය වටා ඉතා වේගවත් ලෙස පීඩිත පන්තියේ ජනතාව රොද බඳින්නට වීම නොඉවසූ පිරිසකගේ මෘග ම්ලේච්ඡ ඝාතනයක් ලෙසය. විජයගේ මානව හිතවාදී ගුණය හා පීඩිත ජනතාව වෙනුවෙන් සැබෑ සේවයක් කිරීමට ඔහුට අවංක වුවමනාවක් තිබූ බව ඒ වන විට ජනතාවට අවබෝධ වෙමින් තිබුණු අතර විජයගේ දේශපාලන දර්ශනය කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව විශාල වශයෙන් ඔහු සමඟ පෙළගැසෙන වටාපිටාවක් ඒ වන විට නිර්මාණය වෙමින් පැවැතුණි. මේ තත්ත්වය අනෙකුත් දේශපාලන පක්ෂවලට හා පෙරමුණුවලට දරාගත හැක්කක් නොවීය.

1992 ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනූ ගැරී ස්ටැන්ලි බේකර් නම් අමෙරිකානු ආර්ථික විශේෂඥයා විසින් 1968 දී ලියා පළ කළ Economics of Crime Punishment නම් කෘතියෙහි ඔහු පවසන්නේ අපරාධ පිළිබඳ ආර්ථික න්‍යායට අනුව දේශපාලන ඝාතනයක පාර්ශ්ව දෙකක් ඇති බවය. ඒ අනුව අදාළ ඝාතනය සඳහා දේශපාලන ඉල්ලුමක් තිබිය යුතුය. එයින් එක් පාර්ශ්වයකට දේශපාලන ලාභයක් හා අනෙක් පාර්ශ්වයට දේශපාලන වින්දිතභාවයක් තිබිය යුතුය. බෙකර්ගේ න්‍යායට අනුව විජයගේ ඝාතනයෙන් දේශපාලන ලාභයක් ලැබූ බොහෝ දේශපාලකයන් සිටියහ. විජයගේ ජනප්‍රියතාව හා ඔහුගේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ වේගවත් වර්ධනය දිරවා ගන්නට නොහැකිව සිටි බහුතරයක් දේශපාලකයන්ට විජයගේ ඝාතනය මහත් ආශීර්වාදයක් වූයේ එබැවිනි. “ඌරන් කැකුණ තළන විට හබන් කුකුළන්ට රජ මඟුල් ” මෙන්ය. විජය ඝාතන සිද්ධිය දෙස සුපරීක්ෂාකාරීව බැලීමේදී ගම්‍ය වන තවත් එක් සංසිද්ධියක් මෙහිලා සඳහන් කළ යුතුය. විජය ඝාතනය වූ 1988 පෙබරවාරි 16 වන දින පස්වරු 4.00 ට එම මරණයේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එස්. එල්. සල්ගාදු සිය වෝහාරික පශ්චාත් මරණ පරීක්ෂක වාර්තාවේ මෙසේ සඳහන් කරයි. “හිස හා ගෙල ප්‍රදේශයට වෙඩි උණ්ඩ තුනක් ද පපුව හා යටි බඩ ප්‍රදේශයට වෙඩි උණ්ඩ දෙකක් ද වශයෙන් වෙඩි උණ්ඩ පහක් වැදී තිබුණු අතර ඒ සියල්ල විජයගේ සිරුර පසාරු කරගෙන ගොස් තිබුණි. ඒ අනුව මොළය, ගෙල, කොඳු ඇට, පෙණහලු, ඉළ ඇට, වකුගඩු හා අක්මාව යන ඉන්ද්‍රියයන්ට බරපතළ හානි සිදුවී තිබේ. මේ හේතුවෙන් විජයට ක්ෂණික මරණයක් අත්වී තිබේ.”යනුවෙනි. තමන් මේ වන විට ඝාතන 41 ක් කර තිබුණේ යැයි පාපො­්ච්චාරණය කළ අත්අඩංගුවට පත් පළපුරුදු ඝාතකයාට පැමිණි මෝටර් සයිකලයේ පිටුපස අසුනින් බැස මාරාන්තික ලෙස තමා එල්ල කළ වෙඩි පහර පහෙන් විජය ඒ ක්ෂණයෙන්ම මිය ගිය බව වැටහී තිබිණි. එහෙත් ඒ අවස්ථාවේ තමන් පසුවන අවදානම ගැනවත් නොසලකා මැරී වැටුණු විජය අසලට පැමිණි ඝාතකයා විජයගේ මුහුණ ඉලක්ක කොට ටී 56 ගිනි අවියේ ටිගරය ඇද ගෙනම සිටියේය. එම ප්‍රහාරයෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආදරය කළ, ආකර්ෂණය කළ සිංහල සිනමාවේ සිහින කුමරු වූ විජය කුමාරතුංගයන්ගේ සුන්දර මුහුණ ඉතා සුළු මොහොතකින් සුනු විසුනු වී ගියේය.

READ:   බංග්ලාදේශය ප්‍රබල ඉන්දියාව පරාජය කරයි..

විජයගේ සුන්දර මුහුණ

ඝාතකයා දැඩි අවදානමක් ගෙන එසේ කළේ ඇයි? ඔහුගේ පාපෝච්චාරණයට අනුව එසේ කරන ලෙස ඔහුට අණ ලැබී තිබුණු නිසාවෙනි. මේ සිද්ධියෙන් ගම්‍ය වන්නේ කුමක්ද? මෙම ඝාතනයට අණ කළවුන්ගේ අභිමතාර්ථය වූ දේශපාලනමය ඝාතනය සමඟම ඊට යටින් වූ තවත් අරමුණක් තිබූ බවය. එය නම් විජයගේ සුන්දර මුහුණ කෙරෙහි තිබූ ඊර්ෂ්‍යාවය. කෙළින්ම කියතොත් ලිංගික ඊර්ෂ්‍යාවය. නැතහොත් විජයගේ මුහුණ කෙරෙහි වූ දේශපාලනික කාරණාව, වෛරය කුමක්ද? මෙයින් එළියට පනින්නේ පීඩිත ජනතාවට විමුක්තිය ලබා දෙන්නට දිවි හිමියෙන් කැප වෙතැයි කියා ගන්නා ඊනියා විමුක්තිදායකයින්ගේ විකෘති ලිංගික මානසික රෝගී සැබෑ ස්වරූපයයි.

1988 ජනවාරි 30 සහ 31 යන දෙදින කුරුණෑගල දොරවැරුව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂ සමුළුවක් පවත්වන ලද්දේය. සමුළුව සඳහා විජය සහභාගී වූයේ එහි දෙවැනි දිනය වූ 31 වනදා ය. ජනාධිපති නීතිඥ තිවංක වික්‍රමසිංහගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු සමුළුවට සහභාගි වූ විජය, එහිදී පැවැත්වූ කතාවේදී මෙවන් අදහසක් පළ කළේය. “යම් කිසිවකු මගේ පුතාගෙන් ඇහැවුවොත් “ඔබේ පියා මියගියේ කොහොමද කියලා “මගේ තාත්තා මැරුණේ, චිත්‍රපටයකට මල් පඳුරක් වටේ නිළියක් එක්ක දුවමින් ඉන්නකොට…” යනුවෙන් මගේ පුතාට කියන්න වුණොත්, මම ඒ ගැන ලැජ්ජාවට පත් වෙනවා. පොදු ජනතාව උදෙසා අප ගෙන යන මේ අරගලයේදී කොළ කොටියකු (රාජ්‍ය ත්‍රස්තවාදියකුගේ) හෝ ජවිපෙ තුවක්කුකරුවකුගේ වෙඩි පහරවලින් හිස කෑලිවලට පුපුරලා මගේ තාත්තා මැරුණා කියලා, මගේ පුතාට කියන්න පුළුවන් නම් මම ඒ ගැන ආඩම්බර වෙනවා…” (විජය කුමාරතුංග ඝාතනය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, 1997, 14 පිටුව) යැයි විජය ප්‍රකාශ කළේය. ඔහුගේ අනාවැකිය ඊට දින 16 කට පසුව සැබෑ කරවමින්, පොල්හේන්ගොඩ පිහිටි සිය නි‍ෙවස ඉදිරිපිටදී ඒ ආකාරයෙන්ම මිය යන්නට විජයට සිදු විය.

අවමඟුල් උත්සවය

ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළා යැයි බොරු නැක්සලයිට් චෝදනා නඟා 1982 නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් අමානුෂික ලෙස විජයව සිර ගත කළ ජේ. ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විජයගේ අවමඟුල් උත්සවය සඳහා නිදහස් චතුරශ්‍රය ලබා දෙන බව පැවසීය. ඉන් නොනැවතුණු ජේ. ආර්. ආණ්ඩුව අවමඟුල් උත්සවය පුරා පැය 4 ක සජීවී විකාශයක් ලෙස ගෙන එන්නට ස්වාධීන රූපවාහිනී සේවයට අවසර දුන්නේය. අවමඟුල් උත්සවයක් රූපවාහිනී මාධ්‍යයෙන් සජීවීව විකාශය කළ ප්‍රථම අවස්ථාව එය විය. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විජයගේ අවමඟුල නැරැඹුවේ කඳුළු සලමිනි. මෙයින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ලබා ගත් වාසි කිහිපයක් විය. විජය ඝාතනය තමන් විසින් කළ දෙයක් නොවන බව ජනතාවට ඒත්තු ගැන්වීම, ඒ වන විටත් ජනතාවගේ අප්‍රසාදයට හා භීතියට ලක්ව තිබූ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ජනතාව තුළ වෛරය තවදුරටත් මෙළවීම ඉන් ප්‍රධාන වූ අතර එම අරමුණු සාර්ථක විය.

READ:   දකුණු පළාතේ පාසැල් හෙට සිට දවස් පහම පැවැත්වේ

කිසිදු ජාතියකට අසාධාරණයක් නොවන පරිදි හා සියලු සුළු ජාතීන්ට අභිමානවත් ලෙස ජීවත්විය හැකි පරිදි ඒකීය රාජ්‍යයක් තුළ බලය විමධ්‍යගත කිරීම විජයගේ දර්ශනය විය. එල්ටීටීය හැර, ජනවාර්ගික ගැටලුව විසඳීමෙහිලා විජයට තිබූ අවංක වුවමනාව හඳුනාගත් අනෙකුත් දෙමළ සංවිධාන විජයගේ දර්ශනයට එක්වන්ව සහයෝගය දැක්වූහ.

විජයගේ ආදාහනය පැවැත්වූ දිනය වූයේ පෙබරවාරි 21 වැනිදා ය. ඔහු ජීවත්ව සිටියේ නම්, එදින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී, ශ්‍රී ලංකා මහජන පක්ෂය, සමසමාජ පක්ෂය, නව සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සන්ධානගතව සෑදුණු එක්සත් සමාජවාදී පෙරමුණේ මංගල රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් සමාජවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස විජය නම් කිරීමේ සැලසුමක් ද එදිනට යොදාගෙන තිබුණි. මේ කාරණා සියල්ල විජය ඝාතනය පිණිස හේතු වන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. විජයගේ අවමඟුල් උත්සවය පැවැත්වෙන 21 වැනිදා දහවල් වන විට, ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් මෙහෙයවුණු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින්, “විජය යැවුවේ ඇයි?” යන සිරස්තලයෙන් නිවේදනයක් නිකුත් කරමින්, එම ඝාතනයේ වගකීම භාර ගත්තේය. එම නිවේදනයේ, “අප විසින් දඬුවම් කරනුයේ මව්බිමේ සතුරන්ට පමණි. ඒ හැර අපේ දේශපාලනයට එකඟ නොවූව ද ද්‍රෝහීන් නොවූ කිසිවකුට හෝ පොදු මහජනයාට හෝ අපි කිසිදු හිංසාවකට ඉඩ නොතබමු”. යනුවෙන් සඳහන් විය. එහෙත්, එය වනාහී ජවිපෙ තම ඇඳිවත ගලවා මුහුණ වසා ගැනීමක් විය. ජනතා විමුක්ති පෙරමුණ කියන ආකාරයට ඔවුන් විසින් ඝාතනය කළ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, තේවිස් ගුරුගේ වැනි වියතුන්, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි කලාකරුවන් මව්බිමේ සතුරන් විය යුතුය. එසේ නොමැති නම් ගම්වල ජීවත් වූ අහිංසක ග්‍රාමසේවක නිලධාරීන්, තුණ්ඩුවලට පාසල් නොවැසූ විදුහල්පතිවරුන් මව්බිමේ සතුරන් විය යුතුය. මේ ආකාරයට ජවිපෙ විසින් ගෙනගිය පැසිස්ට්වාදී මිනීමරු ඝාතන සංස්කෘතිය විසින්ම ඔවුනට විනාශය ළඟා කර දෙන ලද්දේය. ඛේදවාචකය නම් රාජ්‍ය හා රාජ්‍ය නොවන යන පාර්ශ්ව දෙකෙන්ම ආරම්භ කළ මේ ඝාතන රැල්ල අවසන් වූයේ ජවිපෙ විසින් ගෙන එන ලද ආවේගකාරී, අතිධාවනකාරී ෆැසිස්ට් අදහස්වලට අන්ධ ලෙස රැවටුණු අත්දැකීම් නොමැති, නොමේරූ, අවංක තරුණ තරුණියන් දහස් ගණනක් හා මේ කිසිවකට සම්බන්ධ නැති අහිංසක නිර්දෝෂී තරුණ තරුණියන් දහස් ගණනක් ඇතුළු හැට දහසකට අධික තරුණ ජීවිත ප්‍රමාණයකට එක්සත් ජාතික පක්ෂ රජය විසින් නිල හා නොනිල මට්ටමින් ක්‍රියාත්මක කරන ලද ඉතා අමානුෂික ඝාතන යන්ත්‍රණයට හසුව ටයර් සෑ මත අකාලයේ ආදාහනය වීමට සිදු වීමෙනි.

READ:   නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක්: ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් ගෙන්වීමටත් පියවර..

දේශපාලන අර්ථකථනය

විජය කුමාරතුංග මහතාගේ භාර්යාව වූ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති තනතුරට පත් වූ පසු විජයගේ ඝාතනයෙන් වසර 7 ක් පිරුණු 1995 පෙබරවාරි 16 වනදා ඒ පිළිබඳ සෙවීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළාය. කොමිසමේ සාක්ෂි විභාගය 1995 අප්‍රේල් 14 වනදා ආරම්භ කරන ලද අතර දෙසැම්බර් 15 වෙනිදා දක්වා මාස 8 ක කාලයක් තුළ සාක්ෂි විභාග කරන ලදි. කොමිසම ඉදිරියේ පුද්ගලයින් 72 ක් සාක්ෂි දුන් අතර එම සාක්ෂි පිටපත වෙළුම් 15 කින් හා පිටු 3441 කින් සමන්විත විය. අවසානයේ කොමිසම විසින් වාර්තාවක් ඉදිරිපත් කරන ලද නමුත් පැවති තත්ත්වයට වඩා යමක් ඉන් සිදුවූයේ නැත. එසේම එය ඝාතන සිද්ධිය විමසීමක් විනා ඊට යටින් වූ දේශපාලන අර්ථකථනයක් එහි අඩංගු නොවීය.

ජනතා විමුක්ති පෙරමුණෙහි සන්නද්ධ ව්‍යාපාරය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් විජය කුමාරතුංග ඝාතනය කරන ලද්දේ ඔහු දේශ ද්‍රෝහියකු ලෙස හඳුන්වමිනි. විජය විසින් කරන ලද දේශද්‍රෝහී ක්‍රියාව ලෙස ඔවුන් පවසන ලද්දේ විජය, 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පළාත් සභා ක්‍රමයට සහයෝගය දැක්වීම ය. එලෙස හේතු දක්වා විජය කුමාරතුංග අමානුෂික ලෙස ඝාතනය කොට වසර 35 ක් ගත වූ මේ අවස්ථාවේ ජාතික ජන බලවේගය යනුවෙන් පුනරුත්පත්තිය ලබා සිටින ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශයක් නිකුත් කරමින්, ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ වශයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව කියා සිටියාය. ඇය සම්පූර්ණ වශයෙන් යැයි පවසන්නේ ඉඩම් හා පොලිස් බලතල ද ඇතුළුවය. දැනටත් ක්‍රියාත්මක වන පළාත් සභා ක්‍රමයට සහයෝගය දැක්වූ වරදට විජයට වෙඩි පිට වෙඩි තබා මුහුණ සුනු විසුනු කොට ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණ, ඉඩම් හා පොලිස් බලතල දීමටත් කතා කරන ආචාර්ය හරිනි අමරසූරියට කුමන දඬුවමක් දේවිදැයි ජනතාව බලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට දැනගැනීම පිණිස පැවසිය යුතුය.

අසංක නවරත්න

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්