දේශීය

උඩුගුවනේදී කාන්තාවකගේ දිවි බේරූ දොස්තර නෝනා

February 13, 2023 02:07 pm
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයකදී අසාධ්‍ය වූ කාන්තාවකගේ දිවි බේරාගැනීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් සමත්ව ඇත.
මෙලෙස අදාළ කාන්තාවගේ දිවි බේරාගැනීමට සමත්ව ඇත්තේ මනෝරි ගමගේ නම් වෛද්‍යවරියකි.
75 හැවිරිදි වියේ පසුවූ වයෝවෘධ කාන්තාවක් ගුවනේදී මෙලෙස ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇත.
එහිදී ගුවන් කාර්ය මණ්ඩලයේ දැනුවත් කිරීම මත වහාම ක්‍රියාත්මක වී ඇති ඇය අදාළ කාන්තාවට අවශ්‍ය මූලික ඖෂධ කිහිපයක් ලබාදී කටුනායක වෙත රැගෙන එනතුරු අවශ්‍ය ප්‍රතිකාර සිදුකර ඇත.
මේ පිළිබඳව ඇය සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති උපුටාගත් සටහනක් පහතින්,
උපුටා ගැනීම
මට දැනුන සහ මට හිතුන හැටි….. (මේ මාගේද අනාගත කතාව විය හැක)
මෙල්බර්න් නුවර සිට කොළඹ දක්වා පියාසර කරන UL 604 ගුවන් යානයට පිටත් වීමට ඇත්තේ තවත් තත්පර කිහිපයකි.
වෙනදාමෙන්ම 90%. පමණ ශ්‍රී ලාංකකියන්ගෙන් එය පිරීඇත. ඉතිරිය අතරින් බහුතරය ඉන්දියානුවන් බවද පැහැදිළිය.
ගුවන් ගමන ඇරඹුනි. ගතවූ කාලය විනාඩි 45ක් පමණ විය.
‘වෛද්‍යවරයෙකු හෝ වෛද්‍යමය ආධාර දිය හැකි පුද්ගලයෙකු සිටී නම් වහාම කාර්ය මණඩලය දැනුවත් කරන්න.’
යනුවෙන් නිවේදනයක් නිකුත් විය.
මම පසු පස බැලිමි . මගේ ආසනයට පේළි 2කට පසුපස ආසනයේ අවුරුදු 75ක් පමණයැයි කිවහැකි කාන්තාවක් වේගයෙන් මෙන්ම ඉතාම අපහසුවෙන් හුස්ම ගනිමින් සිටියි. ඒ දුටු වහාම යමක් කළයුතුයැයි හැඟුනි.
මම ඇය පරීක්ෂා කළෙමි. ඉතාම අපහසුවෙන් හුස්ම ගන්නා ඇය වෙහෙසා ප්‍රශ්න කළ නොහැක. නමුත් කිසිඳු තොරතුරකින් තොරව ප්‍රතිකාර කිරීමද කළ නොහැක. ඔක්සිජන් සිලින්ඩරයක් ඉල්ලා ගතිමි. මාගේ සහායට ශ්‍රී ලාංකික නමුදු ඔස්ට්‍රේලියාවේ සේවය කරන හෙදියක් ද ඉදිරිපත් වූවාය.
මෙම කාන්තාව ඇදුම රෝගයෙන් පෙළෙන බව යන්තම් අසාගත්තෙමු. ඇය තවත් රෝග රැසකට ප්‍රතිකාර ගන්නා බව කීවද කිසිදු බෙහෙතක් ඈ සතු නොවීය. නිල් පාට ඉන්හේලරය පමණක් ඇතිබව කී සැනින් එය සොයා වහා ඇයට බෙහෙත් වාර කීහිපයක් දුනිමි. ඇයගේ නාඩි ඉතා වේගයෙන් වැටෙයි. පපුව හිර කරන බවක් පවසයි. හුස්ම ගැනීමට අධික වෙහෙසක් දරයි. වරින් වර වම් අත රිදෙන බවද පවසයි.
අඩි දසදහස් ගණනක් ඉහළ අහසක වෙද නලාව සහ රුධිර පීඩන උපකරණයක් හැරුණු කොට කිසිදු උපකරණයක් හෝ තමා ගන්නා බෙහෙත් හෝ පෙළෙන රෝග පිළිබඳවත් හරියාකාරව කියාගත නොහැකි ඇයගේ මේ තත්වය හමුවේ මහා භීතිකාවක් ඇතිවිය.
හෘද්‍යාබාධයක් විය නොහැකිද
(හතිය වැඩිවීමක් ද විය හැක. නමුත් වෙද නළාවට එතරම් හතියක්ද නොඇසේ. එයද භයානක තත්වයකි.
රුධිර පීඩනය සාමාන්‍යතත්වයේ පසුවෙයි. රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය බැලීමට ක්‍රමයක් නැත.
ඒ අවස්ථාවේ මගියෙකු තම apple වර්ගයේ ඔරලෝසුව ලබා දී එය බලා ගැනීමටද උපකාර විය.)
ඇස්ප්‍රින් තිබේදැයි මගීන්ගෙන් විමසීමි. ප්‍රතිචාරය යහපත්ය ඇයට එය ලබා දුනිමු.
නැවතත් සැල්බියුටමෝල් ඉන්හේලරය ලබා දුනිමු.
ප්‍රෙඩ්නිසොලෝන් ඖෂධය තිබේදැයි මගීන්ගේන් විමසීමි. කුඩා දරුවෙකුට ලබාදෙන සිරප් බෝතලයක් ලැබුණි. එයද ඇයට ලබාදුනිමි.
ඇයගේ අපහසුතාවය කිසිඳු අඩුවක් නොවීය. වැඩිවීමක් ද නැත.
වහාම කපිතාන් වරයාදැනුවත් කළෙමි.
තවත් පැය2 ක කාලයකට පසු පර්ත් ගුවන් තොටු පලට ළඟාවිය හැකි බවත් එයට පෙර යමක් කළ යුතුයැයි හැඟේ නම් නැවත මෙල්බර්න් දක්වා ආපසු පියාසර කළයුතු බවත් ඔහු දැන්වීය.
මහා අසරණකමක් දැනුනි.
ඇය නැවත පරීක්ෂා කළෙමි. යම් තරමකට හුස්ම ගැනීමේ අපහසුතාවය තරමක් අඩුවී ඇත.
ඒ නිසාම පර්ත් නුවරට ආසන්න වන විට තීරණයක් ගැනීමට අප එකඟ වුයෙමු.
මම ඇයට සෙමින් කතා කලෙමි. මා වැඩි විස්තර නොවිමසුවද ඇය වරින් වර නවත්තවමින් ඇයගේ තොරතුරු එකින් එක පැවසුවාය.
වයස 85කි.
දරුවන් තිදෙනෙකි.
එක් අයෙක් එංගලන්තයේය. අනෙක් දෙදෙනා ඕස්ට්‍රෙලියාවේය.
ඇය නුවරට ආසන්න ප්‍රදේශයකය,
ලංකාවේ වෙසෙන්නේ තනිවමය. මෙවර දරුවන් බලන්නට ගොස් මාස 3කට පසු ලංකාවට පැමිණෙමින් සිටියාය.
ඇය කොළඹ සිට නුවර ගෙනියන්නට ඥාතියෙක් ගුවන්තොටුපලට එන බවද පැසූවාය.
‘ඇයි ඉතිං ලංකාවට යන්නේ ‘මම විමසීමි.
“අපිට ඔය රටවල් හරියන්නෑ. මගේ මහගෙදර තියෙනවානේ . ඒවාත් නාස්ති වෙලා යනවා.”
කටුනායකට එනතුරු ඇය සමග වරින් වර කතා කරමින් ඇය පරීක්ෂා කළෙමි.
අතරමග දී ,’සිදධාලේප ටිකක් ගෑවනම් අතයි පපුවයි දෙකම අඩුවෙයි ‘ඇය පැවසූවාය.
එයද සිදු කිරීමට අපට හැකිවිය.
කටුනායකදී ගුවන් සේවාවට අයත් වෛද්‍යවරයෙකු විසින් ඇය පරීක්ෂාකරන අතරතුර අවශ්‍ය තොරතුරු ලබාදී මම ගුවන් යානයෙන් පිටතට පැමිණියෙමි
අවුරුදු 85ක් වූ ඇය තනිවම මෙසේ දරුවන් බලා කියාගන්නට ගොස් එන අතරතුර අසරණ වු ලෙසින් ඉදිරි අනාගතයේදී බහුතරයකට මෙමතත්වය පෙරටත් වඩා ඇතිවීමේ ඉඩකඩ අධිකය.
තරුණ දරුවන් රටහැර යන්නේ ඉන්නට බැරිනිසාය. අපහසුවෙන් හෝ නතරවුනද නිසි වැටුපක් නොලැබෙන නිසාය. අතට දැනෙන වැටුපක් ලැබුනත් නැවතත් බදු ගහන නිසාය.
අවසානයේ රටක් ලෙස අප පීඩාවට පත්වුවද රට හැර යන්නවුන් ගැන මම චෝදනා නොකරමි. ඒ ඔවුන්ගේ අයිතියයි.
නමුත් ඒ දරුවන් ලොකු මහත් කරන්නට වෙහෙස මහන්සිවූ දෙමාපියන් අසරණ වීම සිදුවනු ඇත. ඒ ගැන විශේෂයෙන් සිහිකළ යුතුමය.
ඒ අම්මා මෙන්ම බහුතර අම්මලා ගමේ ගෙදර අතහැර නගරයේ ගෙදරකට එන්නට වත් අකමැති බව දන්නෝ දනිති.
එහෙව් කලෙක දෙමාපියන් බහුතරයක් දරුවන් ගිය පමණින් රට හැර නොයන බවද පැහැදිළි ය.
විදෙස් රටවලදී මෙන් නොව අපරට තුල වයෝවෘධ අම්මලා තාත්තලාට වෙන්වූ සේවාවන් නැත. නොමිලේ සෞඛ්‍ය සේවය ඇතත් මහාජනකායක් අතරදී එය පහසුවෙන් ලබාගත නොහැක. ප්‍රවාහනය පහසු නැත. පාරක තොටක ගමන් කිරීම පවා අපටත් අපහසු කළෙක වයස්ගත මවුපියන්ට වන අපහසුව ගැන කතා කළ යුතු නැත.
බලාකියා ගැනීමට විස්වාස කටයුතු කෙනෙකු සොයාගැනීමද පහසු නැත.
මෙම සිදුවීම මතක් වන හැම වාරයකදීම නුදුරේදී නැතත් අප ද අනාගතයේ මේ කුළකයට අයත් වනු ඇතැයි මට වරින් වර සිතේ.
ළමයින් අප බලාගන්නට ලංකාවේ රැඳිය යුතුයැයි මම කිසිසේත් නොසිතමි. නමුත් දරුවන් විදේශ ගතවූ පසු ලංකාවේ රැඳෙන මවුපියන්ට සේවා ලබාදිය හැකි සක්‍රිය මෙන්ම සංවිධානාත්මක ක්‍රමවේදයක් ඇරඹීමට කාලය එළඹ ඇත.
රජයෙන් එය සිදු වීම බලාපොරොත්තු නොවෙමි. මේ හැකි පුද්ගලයින්ට මෙන්ම ආයතනවලට ඒ ගැන හිතන්නට ඉඩ දීම සඳහා ය.
මේ මට හිතෙන හැටිය.

සටහන – මනෝරි ගමගේ
උපුටා ගැනීමකි.

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

55 mins ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

4 hours ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

17 hours ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

17 hours ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

1 day ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

1 day ago