දේශීය

ශ්‍රී ලංකාවේ තියෙන එකම අන්තඃපුරය

අද මම යන්න හදන්නෙ වෙනස්ම තැනකට. ඒ ලේසි පහසු තැනකට නම් නෙමෙයි. අද මෙහෙම නන්නාදුනන පිරිමියෙක්ට මෙතනට යන්න පුළුවන් වුණාට එදා නම් මේ අහලකටවත් පිරිමියෙක්ට කිට්ටුවෙන්න බැරිවෙන්න ඇති. වැඩිය අටුවා ටීකා ඕන නැහැ. අද මම යන්නෙ ඇහැලේපොල මහ අදිකාරම්ගෙ අන්තඃපුර මාළිගාව බලන්න.

රජෙකු විදින සැපට කියනව රජ සැප කියල. ඒ රජ සැප ඇතුළෙ සීමා මායිම් නොමැති තරම්. මොකද එදා රටේ සම්පූර්ණ බලය හිමිවූ එකම තැනැත්තා වුණේ රජුම පමණක් වූ නිසා. ධනයෙන්ද, බලයෙන්ද, රණ ශූරත්වයෙන්ද, තේජසින්ද බැබළුණු රජුට ප‍්‍රධාන අගබිසව හැරුණකොට තවත් ස්ත‍්‍රීන් රාශියක් ඇසුරු කිරීමේ වරප‍්‍රසාදයත් හිමිවෙලා තිබුණා. රජු උයන් කෙළියේ යෙදෙනකොට ඔහු සමග ගමන් කරන්න, සිරියහන් ගබඩාවේ සිටින විට උවැටැන් කරන්න, ජලස්නානය කරනකොට ඖෂධ ආදිය ඇග ආලේප කරන්න වගේ අනේකවිධ වැඩ සදහා රජ මාලිගාවේ රූප සෝබාවෙන් අග තැන්පත් ස්ත‍්‍රීන් සමූහයක් වාසය කරා කියනවනෙ. මෙම ස්ත‍්‍රීන් පිරිසට කීවෙ රජුගේ අන්තඃපුරය කියලා.

රජෙකුට සිටිය යුතු අන්තඃපුර ස්ත‍්‍රීන්ගේ ප‍්‍රමාණය සීමාවක් නැහැ. සමහර රජවරුන්ට දහස් ගණන් අන්තඃපුර ස්ත‍්‍රීන් හිටියැයි කියල ඉතිහාසයෙ තියෙනවා. රජු සිත් ගත් ඕනෑම ස්ත‍්‍රියක් වෙතොත් රාජ අණින් ඇය රජුගේ අන්තඃපුරයට එක්කර ගත්තා. ඇය විවාහකද අවිවාහකද යන්න ඊට අදාළ වුණේ නම් නැහැ. අද මම සොයායන්නේ මෙවන් අන්තඃපුර ස්ත‍්‍රීන් හා බැදි ස්ථානයක්. ඒක අන්තඃපුර ස්ත‍්‍රීන් වෙනුවෙන්ම හදපු මාලිගාවක්. මේකෙ තියෙන සුවිශේෂිත්වය වැඩිකරන ලක්ෂණ ගොඩක් තිබේ. ඒවා ගැන කීවොත් මේ අන්තඃපුර මාලිගාව ඉදිකරල තියෙන්නෙ රජෙක් නොවීම, මේක දැනට මෙරට දක්නට තියෙන එකම අන්තඃපුර මාලිගාව වීම, මෙය වසර 200කටත් වඩා පැරැුණි වීම, මේ තුලින් මහනුවර දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ ලක්ෂණද පෙන්නුම් කිරීම හා රහස් උමං මාර්ග පද්ධතියකින්ද සමන්විතවීමය.

මේ වගේ සුවිශේෂි ලක්ෂණ ගොඩක් තියෙන මේ අපූර්වතම ගොඩනැගිල්ල පිහිටල තියෙන්නෙ කොළඹ-රත්නපුර පාරෙ දකුණු පසින් රත්නපුර නගරයේමයි. කොළඹ ඉ`දන් එන ඔබට රත්නපුර නගරයේ දකුණු පසින් ෆර්ගසන් බාලිකා විද්‍යාලය හම්බවෙනවා. ඒ විද්‍යාලයෙ ඇතුළට යන පාරෙ මීටර 200ක් විතර ගියාම ඒ විද්‍යාලයට පිටිපස්සෙන් මේ අපූර්වතම ගොඩනැගිල්ල දැක බලාගන්න පුළුවන්. පාසලක් ඇතුලෙන් යන්න ඕන නිසා වගේම මේ ගොඩනැගිල්ලට අල්ලපු වැටේ තියෙන්නෙ මහෙස්ත‍්‍රාත්වරයගේ නිල නිවස නිසා බලන්න එන අය පිළිවෙළකට එන්න වෙයි. මේ දෙමහල් ගොඩනැගිල්ලෙන් ඉංග‍්‍රීසි ගෘහ නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කළාට උඩරට අපේ දේශීය ගෘහ නිර්මාණ ලක්ෂණත් ඇතුළත් කරල ඇති බව හදුනාගන්න පුළුවන්. දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලය හදල තියෙන්නෙ ලෑලි යොදල සකස් කරගත් සොල්දරයක් උඩ. එම ඉහළ මාලයේ කාමර තුනක් තියෙනව. ඒ වගේම හාත්පස සුන්දරත්වය පෙනෙන වැරන්ඩාවකින්ද සමන්විත වෙනවා. පහළ මාලයේ රැස්වීම් සදහා භාවිත කළායැයි සැලකෙන ශාලාවක් සහ කාමර කිහිපයක් තියෙනවා.

අන්තඃපුර මාළිගාවේ ඉතිහාසය පිළිබදව සොයා බලනකොට ඒක ඇහැලේපොල මහ අදිකාරම් එක්ක බැදිල තියෙන බව පේනවා. ඔහු ලක්දිව අවසන් රජු වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ නියෝගය මත රත්නපුරේට ඇවිල්ල තියෙන්නෙ සබරගමු වැසියන් උඩරට රජුට ගෙවිය යුතු බදු පැහැර හැරීම පිළිබදව සොයල බලල එම බදු එකතු කරන්න. ඒත් ඔහු සබරගමුවේ රජෙකු වගේ වැජඹෙමින් කන්ද උඩරට වඩිග රජුට විරුද්ධව කුමන්ත‍්‍රණය කළ බවට මත තියෙනවා. මේ නිසා ඔහුට තම දරු පවුල පවා ඉතා ම්ලේච්ඡු ලෙස අහිමි වුණා. මෙහෙම රත්නපුරයේ රාජකාරියට ආපු ඇහැලේපොළ මහඅධිකාරම් කලක් රත්නපුරයේ බටුගෙදර තිබුණ වලව්වක දිවි ගෙවුවත් පසුව රත්නපුර නගරය මැදම අලූත් වලව්වක් හදලා. අද ඒ වලව්වෙ තමයිි රත්නපුර ජාතික කෞතුකාගාරය පවත්වාගෙන යන්නෙ. මෙහෙම තමන්ට නිල නිවසක් හදාගත්ත ඇහැලේපොළ කන්ද උඩරට සිටි තමන්ගේ භාර්යාව හා දරුවන්ද අමතක කරල වෙන ස්ත‍්‍රීන්ගේ පහස විදින්න ගත්තලූ. ඒ සදහා ඔහු තම වලව්වට ඉහළින් තිබුණ භූමියේ අන්තඃපුර මාලිගාවක් ඉදිකරල තිබුණු කියල තමයි ජනප‍්‍රවාදයෙ තියෙන්නෙ.

මේ අන්තඃපුර මාලිගාවේ විශේෂත්වය හොයල බලනකොට මේක දැනට ඉතිරිවෙලා තියෙන රජ දවස ඉදිකරපු එකම අන්තඃපුර මාලිගාව බව කීම යුක්ති සහගතයි. ඒ වගේම මේකෙ තියෙන එක් කාමරයක ඉදන් ඇහැලේපොළ අධිකාරම්ගේ වලව්වටත්, රත්නපුර ඕලන්ද බලකොටුවටත් සහ කළු ගගටත් විහිදීගිය උමං පද්ධතියක් තිබූණ කියලත් ජනප‍්‍රවාදයේ තියෙනවා. පස්සෙ කාලෙ කරපු ප‍්‍රතිසංස්කරණ නිසා ඒ උමං පද්ධතිය වැහිල ගිහින්. ඒත් ඒවා දෑසින් දැකපු අය තවමත් රත්නපුරයේ ඉන්න බව නොරහසක්. කන්ද උඩරට ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුට විරුද්ධව කටයුතු කරපු ඇහැලේපොල අධිකාරම් තමන් තැනූ අන්තඃපුර මාලිගාවට කන්ද උඩරට දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ හැඩයත් එකතු කරල තිබුණේ රජුට රිද්දන්න දෝ කියලත් හිතෙනවා. ඒ හැඩය ගොඩනැගිල්ලේ දෙපැත්තෙන්ම බලාගන්න පුළුවන්. අවුරුදු 200කටත් වඩා පැරැුණි ඉතිහාසයකට උරුමකම් කියන මේ ගොඩනැගිල්ල ඇහැලේපොල අධිකාරම් මෙරටින් පිටුවහල් කිරීමෙන් පස්සෙ ඒ කාලෙ යටත්විජිත ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ නිල නිවාසය බවට පත්කරගෙන. ඒ අනුව සියවසකට අධික කාලයක් ඒජන්තවරුන්ගේ නිල නිවාසය වුණ මේ මාලිගාවේ අද වෙනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත‍්‍රික් කාර්යාලය පවත්වාගෙන යනවා.

වෙලාවකට දේශද්‍රෝහියෙක් කියල හංවඩු ගහපු, තවත් වෙලාවක දේශපේ්‍මියෙක් කියල නම් කරපු ඇහැලේපොල මහ අධිකාරම් හදපු මෙවැනි අපූර්වතම ගොඩනැගිල්ලක් රත්නපුරයේ තියෙනව කියල රත්නපුරයේ ඉන්න අයත් අසා නොතිබෙන්නට ඇති. එහෙනම් ආයෙ දවසක රත්නපුර ජාතික කෞතුකාගාරය බලන්න එන ඔයාල ඊට ටිකක් උඩින් පිහිටල තියෙන ලංකාවේ වෙනත් කිසිම තැනක දකින්න නැති අන්තඃපුර මාලිගාවක් බලන්නත් අවස්ථාව උදා කර ගන්න.

කේ. උදේනි අරුණසිරි
උපුටා ගැනීමකි අයිතිය කතෘ සතුයි

Recent Posts

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

1 hour ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

14 hours ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

15 hours ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

24 hours ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

24 hours ago

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

3 days ago