දේශීය

පිළිමතලාවේ සිට කටුනායකට සැමදා පා පැදියෙන් යන මුතුබණ්ඩා

අව්‍යාජ මිනිසෙකු දිටිමි.

ඒ 2011 වසරේ අගෝස්තු මාසයේ දිනයකි….
සීයෙ කොහොමද ඉතිං….
වරදක් නෑ පුතේ…..
මොකද උනේ…
බයිසිකලේ පැච් එකක් ගියා නොවැ… වෙන ලෙඩක් නම් මටම හදා ගන්න ඇහැකි… නැත්නම් අනිත් අඩුම කුඩුම ඔක්කොම මයේ ලග තියෙනවා….

මුතුබණ්ඩා තමයි ඔන්න සීයගෙ නම… මහනුවර පිළිමතලාව ඔහුගේ ගම..කථාවට ඉතාමත් ප්‍රියයි.. ඒ වගේම කථා බහ අතරතුර විහිලු තහලු කරන්නත් අමතක කරන්නේ නැති නිසාමදෝ නුවර තරුණයන් අතර මුතුබණ්ඩා සීයා ජනප්‍රිය චරිතයක් ලු… ඔවුන් ඔහු අමතන්නෙ ජොලි අන්කල් එහෙමත් නැත්නම් චූන් අන්කල් ලෙස… මේ විස්තර කිව්වෙ මුතු බණ්ඩා සීයාම තමයි….

මේ බයිසිකලේ අරගත්තෙ එකදාස් නමසිය හැට අටේ… ඉස්තරම් රැලේ බයිසිකලයක්…කීයද දන්නවද ගාන… රුපියල් 65/- යි… ඒ සන්දියෙ මම ඉතින් ශක්තිසම්පන්න පුරුෂයා…මඩ ගොවිතැන තමයි කොලේ… කරකාරයක් බැදගෙන පිළිමතලාවෙම තමයි විසුවෙ… කටුමැට්ටෙන් යන්තම් ගේ පොඩ්ඩක් හදාගෙන අපි ජීවත් වුනේ…අදටත් මම ඉන්නෙ ඒ ගෙදර තමා… වෙනසකට තියෙන්නෙ මම දැන් ඉන්නෙ තනියෙන්…. මයෙ උන්දෑ කරුම ලෙඩක් හැදිලා අවුරුදු 4ට විතර ඉස්සර මිය පරලොව ගියා…. ඔන්න ඔහොමයි සීයා සීරාට විස්තර කියන්න පටන් ගත්තෙ.

මුතුබණ්ඩා සීයාට අනුව ඔහු දියණියකගේ සහ පුත්‍රයෙකුගේ පියෙක්….විවාහයෙන් පසු දියණිය ජීවත් වන්නේ කටුනායක ප්‍රදේශයේ.. පිළිමතලාවේ සිට ඔහු තවමත් දියණිය බැහැ දකින්නට යන්නේ පාපැදියෙන්..
අයියෝ ….මම ලංකාවෙ ඕනේම තැනකට යන්නෙ මේ බයිසිකලයෙන් තමා…. කටුනායකට බයිසිකලේ යන්න දුර වැඩි නැද්ද කියලා ඇහුවාම ඔහුගේ පිළිතුර එහෙමයි…

තුන් දොහොකට කලින් කෙලීගෙ ගෙදර ගියා… ඒකි වරකා කන්න රුසියා… මම අයිස් කැට ගොඩක් මැද්දෙන් වරකා මදුලුත් කීපයක් තියාගෙන තමයි කටුනායක ගියේ….. අද රාත්තිරියේ 12.20 ට තමයි ඔන්න දුවගෙ ගෙදරින් පිටත් වුනේ…

උදෑසන 8 පමණ වන විට මුතුබණ්ඩා සීයා කෑගල්ලට ඇවිල්ලා තිබුනෙ පැය 8 කට ආසන්න කාලයක් බයිසිකලය පැදීමෙන් අනතුරුව…
මේ වගේ ගමන් බිමන් යනවට දරු මල්ලො කැමතිද…..සිරාගෙ ප්‍ර‍ශ්නෙට මුතුබණ්ඩා සීයා හිනාවුනා…
දරුවන්ට කියලා මට ඉන්නෙ ඔය කෙලී විතරයි දැන්…
එතකොට පුතා…
දියේ ගිලෙන්න ගිය කෙනෙක් බේරගන්න ගිහිල්ලා මයෙ කොල්ලා මැරිලා හුගක් කල්… වැලි ගොඩදාන රස්සාව තමයි කලේ… උගෙ මරණය ගැන හිතලමයි මයෙ ගෑණිත් ලෙඩ ඇදට වැටුනෙ….

ඉතිං සීයෙ ඇයි දුව ලගට යන්නෙ නැතුව පිළිමතලාවෙ තනියෙන් ඉන්නෙ….
දුවත් අමාරුවෙන් ජීවත් වෙන්නෙ… උන්ටත් මහලොකුවට සල්ලිය භාගෙ නෑ… නාකි මම උන්ට කරදරයක් වෙන්ට නරකයි… ඒ හින්දා මම තියෙන දෙයක් කාලා ගෙදරට වෙලා තනියෙන් ඉන්නවා…. දුව නිතර නිතර මා එක්ක කථා කරන්න මට සැල්ටොන් එකකුත් අරන් දුන්නා… මේ තියෙන්නෙ ඒක….. මේක වැඩිය වටින එකක් නෙමෙයි මගෙ හිතේ….මයෙ ගෙදර කරන්ට් එක නැති හින්දා ගේ ළග කඩේකින් තමයි මේකෙ බැටරිය චාර්ජ් කොරන්නෙ…

සීයගෙ පාපැදියත් අපූරු එකක්… ඊට අන්තර්ගත දේවල් බොහොමයක් තිබුනා…
මයේ බයිසිකලේ ඕනෙ දුර ගමනක් යන්ට පුලුවන්… මේ බලන්න තියෙන දේවල්… ඔහු එකිනෙක දෑ පෙන්වයි.
ඒ අතර හාල් මිටියක්, තේ පෝච්චියක්, පස් පංගුව පැකට් කීපයක්, විදුලි පන්දමක්, ආයුධ කට්ටලයක් වගේම බැටරි කීපයකින් ක්‍රියාත්මක වන පරිදි පාපැදියටම සවිකල අපූරු රේඩියෝවක්ද වුනා….
අද උදේ බයිසිකලේ නවත්තලා තියෙද්දි පෙරලුනා. දැන් රේඩියෝ එක වැඩ කරන්නෙ නෑ… වයර් එකක් ගැලවිලාද කොහෙද…

මම ගමනක් යද්දි උවමනා වුනොත් පාර අයිනෙ ලිපක් හදාගෙන තේ වතුර ටිකක් පස්පංගුව ටිකක් හදාගෙන බොනවා… මේ ඉස්සරහා කූඩෙ සීනි,කෝප්ප, හැදි වගේ අඩුම කුඩුමත් තියෙනවා….

සීයෙ බයිසිකලේ මෙහෙට ගන්න… පැච් එක දාලා දෙන්න.. කාර්මිකයා බෙරිහන් දුන් හෙයින් කථාව මදකට නවතා බයිසිකලය ඔහු සමීපයෙන් නවතා මුතුබණ්ඩා සීයා නැවතත් අප වෙත පැමිණියා… ඒ වන විට කාර්මිකයාගෙ බයිසිමොටෝවේ කටයුතු අවසන් හෙයින් අපට ඔහුගෙන් සමුගැනීමට කාලය එළඹ තිබිනි.
සීයා උදේට කෑවද ? ඔහු සිනාවක් දක්වයි. මුහුණේ ඉරියව් අනුව නිරාහාරව සිටින බව පෙනේ.
අතේ සල්ලි තියෙනවද ? නැවතත් සිනාවකි… ආහාර ලබා ගැනීමට අත මිට මුදල් නැති සෙයකි.
ළග පාත කෑම කඩයකුත් නොවූ හෙයින් මුදල් නෝට්ටු කීපයක් මා ඔහු අත තැබීය.

කාටවත්ම අතනොපා පරම්පරාගත කුඹුරු අස්වද්දමින් තනියෙන් ජීවත් වන ගමන් දියණියගේ දුක සැප බලන්නට ගත වාරු නැති මේ කාලසමයේදීත් හිත වාරුකර විදුලි වේගයෙන් දුවන වාහන වලට මැදිවී මෙතරම් දුරක් පාපැදියෙන් ගමන් කරන මුතුබණ්ඩා සීයා සැබෑ වීරයෙක් නොවේද ?
අනුන් සතු දේට ලොබ බැද, පරපණ නසනා මෙවන් කලියුගයක.. පුහුදුන් හරසුන් මිනිසුන්, කාඩ්බෝඩ් වීරයන් රජකරනා මෙවන් සමාජයක මුතුබණ්ඩා සීයා යනු සැබැවින්ම ගැමිකමේ සුවද පතුරන අව්‍යාජ මිනිසෙකි. ඔහුට දීර්ඝායුෂම වේවා !


උඋපුටා ගැනීම – අන්තර්ජාලයෙනි…

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

3 hours ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

6 hours ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

19 hours ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

19 hours ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

1 day ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

1 day ago